උතුරුකරයේ රමණීය පුදබිම ගල්කන්ද ආරණ්‍ය සේනාසනය

0
24

දඹදෙණි යුගයෙහි සිට විසිවැනි සියවසෙහි හැටේ දශකය තෙක් “කොට්ටියාරම්පත්තුව” (Kottiyarampattu) නමින් උතුර, නැඟෙනහිර හඳුන්වා ඇත්තේ ලක්දිව රජුන් 120 දෙනකු වසර 1400ක් රජකම් කළද ස්වර්ණමය අනුරාධපුර යුගයේ ඉදිවූ වෙහෙර විහාර කෝටියක් පැවැති නිසාවෙනි. ඉන් පූර්ව අනුරාධපුර යුගයට අයත් ගල්කන්ද ආරණ්‍ය සේනාසනය උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව ගජබාපුර ග්‍රාම නිලධාරි වසමේ නව මොනරවක ග්‍රාමයේ පිහිටා ඇති අතිශය සුන්දර ආරණ්‍ය සේනාසනයකි. ආරණ්‍ය සේනාසනයක් කියන්නේ බුදුරජාණන් වහන්සේ විදර්ශන ධුරය වෙනුවෙන් පනවන ලද නිස්කලංක වටපිටාවකින් හෙබි රූස්ස ගස්වැල්, පර්වත, දිය ඇලි, ගංගා, පොකුණු ආදියෙන් යුක්ත ස්ථානයකි. ඒ අසල ඉදිවූ කුටි හා සෙනසුන්වල වාසය කරමින් පිණ්ඩපාතයෙන් යැපෙමින් බණභාවනා කරන සිල්වතුන්ගේ තෝතැන්නකි.

ගල්කන්ද ආරණ්‍ය සේනාසනය පිළිබඳ අතීත කතාව පූර්ව අනුරාධපුර යුගය දක්වා දිවයයි. කටාරම් සහිත ගල්ලෙන් 03ක් වන අතර ඉන් එකක් දෙගල්ලෙනකි. ඉන් පහළ ලෙනෙහි කටාරමට ඉහළින් මෙලෙස සඳහන් වේ.

එහි තේරුම: පරුක දෙව ඣය අඣරය ලෙනේ.

එනම්: “ප්‍රමුඛ දේවගේ භාර්යාව වූ අජරාගේ ලෙන සංඝයාට පුදන ලදී” යන අර්ථයයි.

දෙමහල් ලෙනෙහි උඩ ලෙන තුළ කටාරම් සහිත ගල් සයනයකි. සයනය වටා ගල් කණුවකින් සයනයට ජලය කිසිදු ලෙසකින් හෝ යෑම වළකා ඇත. එමෙන්ම විනාශ වූ ස්තූප 02ක නටබුන්, ගොඩනැඟිලි කණු, පාදම් ගල්, ගඩොල්, උළු කැබලිවලින් යුතු ගොඩනැඟිලි අවශේෂ රැසක්  මතුපිට සාධක ලෙස දක්නට තිබුණද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් යම් කැණීමකින් මීට වඩා බොහෝ තොරතුරු මේ උතුම් පුදබිමෙන් සොයාගත හැකි බව සේනාසනවාසී මහා සංඝරත්නයේ අදහසයි.

මේ උතුම් පුදබිමේ පෞරාණික වටිනාකම එලෙස පවතින විට 2020.05.12 වැනි දින තෙක් මේ සොඳුරු බිමෙහි බවුන් වඩමින්, ගුණදම් පුරන සඟ පිරිස තබා නේවාසික භික්‍ෂුවක් හෝ නොසිටීම ගම්වාසීන්ට මහත් අලාභයක් විය. ඒ අනුව වර්තමානයේ වැඩවාසය කරන  හිමිවරුන්ට මෙහි ආරණ්‍ය සේනාසනයේ ඉදිකිරීමට ඇරයුම් ලැබෙන්නේ පුරා වසර 21ක් (නැවත පදිංචි කළ මෙම ග්‍රාමයට) වූ අඩුව පුරවාලන අදහසිනි. එදා මෙදා තුර වසර 02ක් වැනි කාලයක් තුළ අනේකවිධ දුක් කම්කටොලු දරා ගනිමින් විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින්, ඉන්ද්‍රඛීලයක් ලෙස සුරාපන්තවාසී පුණ්ණ මහරහත් පරපුරේ පුරුකක් බදු ගල්කදු ආරණ්‍ය මහා සංඝරත්නය මේ හිස් බිම් සිල්ගුණදම් පුරණ සැබෑ බුදු පුතුන්ට ක්‍ෂේම භූමියක් කර අවසන්ය.

පුරාවිද්‍යා භුමියෙන් මීටර් 100ක් පමණ අෑතින් ශ්‍රී  ලංකා මහවැලි අධිකාරිය මඟින් නීත්‍යනුකූලව සීමා ගල් යොදා වෙන්කරන ලද කොටසකින් ප්‍රධාන පිවිසුම් 02කින් ආරණ්‍යයට ඇතුළු විය හැකිය. දකුණු ‍ෙදාරටුවෙන් ඇතුළු වන්නකුගේ නෙත් සිත් බුද්ධාලම්භන පී්‍රතියෙන් ඔකඳ කරවන දර්ශනීය ආශීර්වාද මුද්‍රාවෙන් යුතු අඩි 11 පමණ උස හිඳි ප්‍රතිමා වහන්සේ නමකි. ජය ශ්‍රී  මහා බෝධි ශාඛාව තවම ඉතා ළදරු වියේ පසුවෙයි. එම හිඳි ප්‍රතිමා වහන්සේ පසුකර ආරණ්‍යයට ප්‍රවිෂ්ට වන්නකු එක්වරම දකින්නේ බුදු සිරුරක මුහුණ පෙදෙසයි. ක්‍රම ක්‍රමයෙන් ඉහළට නඟින්නට ආශීර්වාද මුද්‍රාවෙන් යුතු හිටි ප්‍රතිමා වහන්සේ දකිත්ම සියලු විඩා සංසිඳී යන්නේය. දකුණු පස මනරම් සදහම් මණ්ඩපයකි.

ඒ මධ්‍යයේ ධර්මචක්‍ර මුද්‍රාවෙන් වැඩහිඳින ප්‍රතිමා වහන්සේ අඩි 08ක් පමණ උසවේ. ධර්මශාලාවට ඉහළින් සදහම් පුස්තකාලය හා භාවනාශාලාව ඉහළ මාලයෙහ් පිහිටා ඇත. බොහෝ බෞද්ධ පුදබිම්වල සාමාන්‍යයෙන් ධාතු මන්දිරය, වෙහෙර වහන්සේ ආදිය භුමියේ ඉහළ වැඩ සිටියද බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන්ට දුන් අවවාදයේදී “මාගේ ඇවෑමෙන් පසු ධර්මය ශාස්තෘ කොට තබන්න” කී ලෙසින් සිරි සදහම් ත්‍රිපිටක පොත් වහන්සේලා සහිත සදහම් පුස්තකාලයක් ඉහළ පිහිටයි. ලක්දිව අල්ප ස්ථාන අතර මෙය එක් ස්ථානයකි. භාවනා ශාලාවට ප්‍රවේශ වන්නකුගේ හිත පිවිසුමේදීම භාවනා අරමුණක් සපයන්නාක් මෙන් දර්ශනය වන අෑත වෙල්යාය හා කැලෑරොද අතිශය සුන්දර දසුනකි.

භාවනා ශාලාවෙන් ඉවත මා නෙත් සොරාගත් දුෂ්කර ක්‍රියාවෙහි නිරත බෝසත් ප්‍රතිමා වහන්සේය. ඉන් එපිටෙහි දලුලා වැඩෙන අනඳ බෝ ශාඛාව වන අතර අනඳ සෑය වෙනුවෙන් වෙන් කළ භූමිය සදහම් පුස්තකාලයට යන්තමින් පෙනේ.

බොහෝ වේලාවක් ගත කළ මේ පින් බිමෙහි කාලය ගතවූ බවක් මට නොදැනුණේ මෙහි වූ ප්‍රකෘතිමය ශාන්ත පරිසරය තුළම ඉදිවූ රමණීය ආරණ්‍ය සේනාසනයක් නිසා වග මෙහිලා කිව යුතුමය. ගඩොල් මතුවන ලෙස ඉන්දියාවේ ගිජ්ජකූඨයට, දෙව්රමට යන්නකුට මෙන් අනුරාධපුර නගර බැමි ලෙස සියලු ඉදිකිරීම් කළ මෙහි කුටි සෙනසුන් 04කි. සීමා මාලකයකි. සන්ධ්‍යාව පැමිණි හෙයින් ලොකු ස්වාමීන් වහන්සේගේ ඇරැයුමින් 2km පමණ දුරින් පිහිටි කිරිඉබ්බන්වැවට ගොස් පැයක් පමණ රිසිසේ ස්නානය කිරීමෙන් අනතුරුව පෙරළා ආරණ්‍යයට පැමිණියෙමු. සවස වන්දනාවට පුංචි අස්සජි හිමි මල් සකසන අතර නිගේ‍රා්ධ හිමි ගෙඩිය ගැසූ කළ පින්වත් උපනීත ස්වාමීන් වහන්සේ වැඩම කොට දා මැඳුර විවර කරත්ම මා නෙත් එහි අතරමන් වූවාක් වැනිය. සතරවරම් දෙවි රජවරු වන්දනා කරන්නාවූ ඇතුන් මත කරඬුව ගෙය දරා සිටි විරාජමානව දිස්වන ධාතුන් වහන්සේ තැන්පත් කරඬු දුටු මා සින් ලෙස බුදුන් වැඳ මෙත් වඩා සවස් කාලය ගත කළෙමි.

වන්දනාවෙන් පසු බෝමළුව වෙත පිය නැඟූ මට හමා එන සිහිල් පවන සිසිලසක් මෙන්ම විඩාබර කොළොංතොට ගැන කලකිරීමක් ඇති කරයි. බෝමළුවේ සිට බලන කල දම්සභා මණ්ඩපය ආශීර්වාද මුද්‍රාවෙන් යුතු බුදුරජාණන් වහන්සේ ජීවමාන ලෙස දහම් දෙසන්නාක් මෙනි. රාත්‍රි 10.00 පමණ වනතුරු සදහම් සාකච්ඡාවක නිරතවූ ස්වාමීන් වහන්සේ සක්මන් මළුවල සක්මන් භාවනාවේ නියැළි මා හට ගිහි අය උදෙසා වූ ස්ථානය පෙන්වා කුටි වෙත වැඩම කළහ. පසුදින උදෑසනින් මා කොළඹට පිටත්වීමට ඉහළට ගොඩවත්ම දුටුවේ ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතයට පිටත් වනුය. ශාන්ත වූ දෙවුර වසා පාත්‍රය වම් උරහිසෙහිලා බිමට හෙළුෑ නෙත්වලින් යුතු තුන්නම වයස් පරාස 03කින් ජීවිතයේ යථාර්ථය මාවෙත පසක් කරන ලදී. පිඬුසිඟා වැඩි ස්වාමීන් වහන්සේ මා වෙත එක් බත් පාර්සලයක් ලබා දුන් අතර බුද්ධ පූජාව පවත්වා පිරිත් හුයක් ගෙන මා දකුණතෙහි ගටගසා සබ්බේ බුද්ධා ගාථාවෙන් ආශීර්වාද කළේ යළි ළඟදීම දිනෙක මෙහි පැමිණ විඩාබර රාජකාරිය පවා පසෙකලන්නට සිත්වන පරිද්දෙනි.)

පිටත්වීමට පෙර ආනන්ද බෝධි ශාඛා වහන්සේ හා ජය ශ්‍රී මහා ශාඛා වහන්සේ වෙත මා කැඳවා ගොස් වන්දනා කරවා ආශීර්වාද කර පිටවීමට උපකාර කළහ. පෙර දින රාත්‍රියේ සඳහම් සාකච්ඡාවෙන් පසු මෙහි වත් පිළිවෙත් සිදුවන අයුරු විමසන විට දැන ගැනීමට හැකිවූයේ පොහෝ දින වැඩසටහන්, භාවනා වැඩසටහන් පවත්වන බවත්ය. එමෙන්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වැඩම වීමට පෙර ගම්වාසීන් ආරම්භ කළ ශ්‍රී  ශෛල්‍යබිම්බාරාම දහම් පාසලට අනුශාසනා කරමින් ශක්තිමත් අධ්‍යාත්මික වටපිටාවකින් හෙබි දරු පරපුරක් තැනීමට කැපවන බවත් පවසන ලදහ. ‘තවත් ඉතිරිව පවතින යම් අඩුපාඩු වේදැයි මා විමසූ පැනයට උන්වහන්සේ පැවැසුවේ

අහස් කුස සිපන්නා අඩි 100කට ආසන්න බුබ්බුළාකාර හැඩයෙන් යුතු ආ නද මහ සෑ රජුන් තැනීමට එළැඹෙන ඇසළ මස සූදානමක් ඇති බවය. එයද තැනූ කල මේ රමණීය භූමිය අංගසම්පූර්ණ පුද බිමක් වනු ඇත. ලක්වාසී, ලෝකවාසී මවුබිම පාඨක ඔබට මේ උතුරුකරයේ තවමත් ශේෂ වූ රමණීය බුද්ධ භූමියක් වන ගල්කන්ද ආරණ්‍යයට පැමිණෙන්නට මම ආරාධනා කරමි. ඒ පැමිණෙන විට ඔබේ සංවරකම රැකගන්න අමතක නොකරන්න. සොඳුරු ආරණ්‍යයට ස්වාමීන්වහන්සේට, සතා සිවුපාවන්ට කරදරකාරී පොලිතීන්, ප්ලාස්ටික්, මත්පැන්, මත්ද්‍රව්‍ය ආදී කිසිවක් මෙහි නොදමන්නට වගබලා ගන්න.

පුරාවිද්‍යා භූමියක් අසල පවතින බැවින් එම ස්ථානයට යෑමේදී වඩාත් සැලකිලිමත් වන්න. එම ශාකවල විශාල ගල්මත විවිධ සටහන් තැබීමෙන් වළකින්න. මේ උතුම් පුදබිම “Googal Map”වල “Galkanda Aranya Senasanaya” ලෙස සෙවූ කල හමුවන අතර ඔබටත් එහි ආධ්‍යාත්මික සුවය විඳීමටත් දකුණේ ලෙසින්ම වෙහෙර විහාර තනා, උතුරත් තනි නොකර රැකබලා ගන්නට ඔබගේ මූල්‍ය, ශ්‍රම, දැනුම යන තුන්දානමය අවස්ථාව පවතින බව මෙත් සිතින් සිහිපත් කරමි.

දුමිදු ලංකා බණ්ඩාර