ඉරාක පාර්ලිමේන්තුවටත් කඩා වැදුණු අපේ අරගලයේ අංක දෙක

0
208

පසුගිය දිනවල ලංකාවේ සිදු වූ දේවලට සමාන සිදුවීමක් ඉරාකයෙන්ද වාර්තා වී තිබේ. විරෝධතාකරුවන් පිරිසක් එරට පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට කඩා වැදී එය අත්පත් කර ගැනීමේ  සිද්ධියක් ගැන බ්‍රහස්පතින්දා විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. අපේ රටේ පසුගිය කාලයේ රජයේ ගොඩනැඟිලි විරෝධතාකරුවන් අත්පත් කරගත්තේ තමුන් කැමැති පාලකයන් ඉල්ලා සිටිමිනි. ඉරාකයේ විරෝධතාකරුවන්ද ඉහත කී පියවර ගෙන ඇත්තේ එරට අගමැති ධුරයට තමුන් අකැමැති කෙනකු පත් කිරීමට යෑම සම්බන්ධයෙන් විරෝධය පාමිනි. විරෝධතාකරුවන් සිය ගණනක් මේ ආකාරයෙන් එරට අගනුවර වන බැග්ඩෑඩ්හි පිහිටි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ආක්‍රමණය කළේ එහි ආරක්ෂාවට දැඩි රැකවල් දමා තිබූ තත්ත්වයක් යටතේය.

ඉරාක පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල පිහිටා ඇත්තේ හරිත කලාපය යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයක් තුළයි. එය විදෙස් තානාපති කාර්යාල ඇතුළු ඉතා වැදගත් ආයතන රැසක් පිහිටා ඇති කලාපයක් වන අතර ඒ නිසාම ඊට ඉහළම මට්ටමේ ආරක්ෂාවක් සපයා තිබේ. නමුත් මොන තරම් ආරක්ෂක රැකවල් යොදා තිබුණත් විරෝධතාකරුවන් නතර කිරීමට ඒවාට හැකි වූයේ නැත. ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වූයේ විරෝධතාකරුවන් වැළැක්වීම සඳහා ආරක්ෂක අංශ එතරම් උනන්දුවක් නොදැක්වූ ආකාරයක්ද පෙනුණු බවයි. නමුත් ඔවුන් මුලදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ආදිය එල්ල කර තිබිණි. එසේ වුවත් විරෝධතාකරුවන්ගේ ගමන නතර කිරීමට ඊට හැකිව තිබුණේ නැත.

විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට ඇතුළු වෙද්දී එතුළ මැති ඇමැතිවරුන් කිසිවකු නොසිටි බව සඳහන්ය. විරෝධතාකරුවන් ගීත ගයමින්, නටමින්, සෙල්ෆි ඡායාරූප ගනිමින් ගොඩනැඟිල්ල පුරා ඇවිදිමින් සිටි බැව් මාධ්‍ය වාර්තා කළේය. ඇතැමුන් එහි මේස මත වැතිර සිටින අන්දමද, මන්ත්‍රිවරුන්ගේ ආසන මත වාඩි වී කතා කරමින් සිටින අන්දමද දැක්වෙන ඡායාරූප  සංසරණය වෙමින් තිබිණි.

බ්‍රහස්පතින්දා මේ ආකාරයෙන් විරෝධතා දක්වා තිබුණේ එරට ප්‍රධාන පෙළේ දේශපාලන නායකයකු මෙන්ම ආගමික නායකයකුද වන මුක්තාදා අල්-සදර්ගේ ආධාරකරුවන්ය. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ඉරාකයේ මහ මැතිවරණයක් පැවැති අතර එහිදී වැඩි ආසන ගණනක් දිනාගත්තේ ඔහුගේ දේශපාලන කණ්ඩායමකි. නමුත් මේ වනතුරුත් ඔවුන්ට ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් ලැබී නැත. ඒ එරට විවිධ පක්ෂ අතර පවතින මතභේද සහ ගැටුම් නිසාය. මෙම තත්ත්වය තුළ අල්-සදර් දේශපාලන ක්‍රියාවලියෙන් ඉවත් වීමට පියවර ගත්තේය. එපමණක් නොව ඔහු තම පක්ෂයේ මන්ත්‍රිවරුන්ටද ඉල්ලා අස්වන ලෙස පවසා තිබිණි. එයින් පසු පාර්ලිමේන්තුවේ වැඩි බලය හිමිව තිබුණේ අල්-සදර්ගේ පක්ෂයේ විරුද්ධවාදී කණ්ඩායමකටය.

මෙම කණ්ඩායම පසුගියදා අගමැති ධුරය සඳහා කෙනකු යෝජනා කර තිබිණි. ඒ මොහමඩ් අල්-සුදානිගේ නමයි. නමුත් අල්-සද්ර් සහ ඔහුගේ කණ්ඩායම අල්-සදානි අගමැති ධුරයට පත් කරනවාට විරුද්ධය. පසුගියදා ඔවුන් පාර්ලිමේන්තුවට කඩා වැදුණේ ඊට විරෝධය දක්වමිනි. විරෝධතාකරුවන් පවසන්නේ ඔහු දූෂිත දේශපාලනඥයකු බවයි. ‘අපි මේ සමස්ත දේශපාලන ක්‍රියාදාමයටම විරුද්ධයි. අපට අවශ්‍ය වන්නේ ජනතාවට සේවය කළ හැකි ස්වාධීන පුද්ගලයෙක්’ එක් විරෝධතාකරුවකු මාධ්‍ය සමඟ පවසා තිබුණේය.

කෙසේ හෝ වේවා විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව ආක්‍රමණය කර පැය දෙකකට පමණ පසු අල්-සද්ර් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි. ‘අසාධාරණය සහ දූෂණය පිටුදකිමින්, ප්‍රතිසංස්කරණ උදෙසා විප්ලවයක්’ යැයි ඔහු විරෝධතාකරුවන්ට සහාය දක්වමින් එහි සටහන් කර තිබූ බව මාධ්‍ය සඳහන් කළේය. ‘ඔබේ පණිවුඩය ඔවුන්ට ඇසුණා. ඔබලා දූෂිතයන්ව භීතියට පත් කළා’ යැයි ද අල්- සද්ර් තවදුරටත් පවසා තිබිණි. අවසානයේ ඔහු විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා තිබුණේ ආරක්ෂිතව නැවත නිවෙස් කරා යන ලෙසයි. ඊට පෙර වත්මන් අගමැති මුස්තාෆා අල්-කදේමිද විරෝධතාකරුවන්ට විසිර යන මෙන් දැනුම් දී තිබුණත් ඔවුන් ඊට කන් දුන්නේ නැත. නමුත් අල්-සදර්ගේ ඉල්ලීමෙන් පසු ඔවුන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබිණි.

කෙසේ නමුත් මෙම සිද්ධියත් සමඟ ඉරාකයේ දේශපාලන පොර පිටිය තවදුරටත් උණුසුම් වෙමින් ඇති ආකාරය පැහැදිලිව දැකිය හැකි වේ.

සනත් වික්‍රමගේ