ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා

0
29

රටේ අනාගතය අපේ දරු පරපුරයි. නමුත් ඔවුනට භාරදෙන රට, ඔවුන් භාරගන්නා රට සුඛිත, මුදිත වූ රටක් නම් නොවේ. හෙට ඔවුන් පියනඟන්නේ අදටත් වඩා අවිනිශ්චිත අනාගතයකටයි. එවන් පසුබිමක අපේ ළමා පරපුර ගැන කතා කිරීම ඉතා කනගාටුදායකය. ඒ මන්ද ඔවුනට තම මූලික අවශ්‍යතාවන්වත් හරිහැටි නොලැබෙන පරිසරයක් නිර්මාණය වී ඇත.

ඔවුන්ගේ අධ්‍යාපන රටාව බලාපොරොත්තු නොවූ අයුරින් බිඳ වැටී ඇත. පෙර නොවූ විරූ ලෙස අනේකවිධ බාධකවලට මුහුණ දෙන්නට ඔවුන්ට සිදු වී ඇත. යහපත් මනසකින් තම ඉගෙනීම් කටයුතු නිසි ලෙස සිදු කිරීමට තරම් සුදුසු වටපිටාවක් පාසල තුළවත්, නිවස තුළවත් දැකගන්නට නැත. ඔවුන්ගේ ජීවන රටාව වෙන කවරදාටත් වඩා වෙනස් වී ඇත.

ඇතැම් දරුවන් කිසිදා දැක නොමැති කුප්පි ලාම්පුවකට හුරු වී පොත්පත් පාඩම් කරති. ඇතැම් ළමයිට පාසල් ඇරී ගෙදර යනවා වෙනුවට මහ පාරේ කොනක සිටින මවුපියන් ළඟට යන්නට සිදුවී ඇත. ඇතැම් ළමයිගේ කෑම පෙට්ටිය පෙර මෙන් පිරී ඇති බවක්වත් පෝෂණීය බවක්වත් දැකගන්නට නැත. ඇතැම් ළමයින්ගේ මුහුණෙහි පෙර නොදුටු විරූ මොකක්‍ෙදා් මහ හිස්කමක්, මලානික බවක් දිස්වේ.

ඇතැම් ළමයින්ට පාසලට යන්නට, පාසලේ සිට ගෙදර එන්නට බිහිසුණු ක්‍රියාදාමයකට මුහුණ දීමට සිදුව ඇත. මෙවැනි පුවත් ඇසෙන විට, ඇතැම් රූපරාමු දකින විට දුක් සුසුමක් නැඟෙන්නේ, කඳුළක් උනන්නේ නොදැනුවත්වමය. අනේකවිධ සිහින පොදි බැඳන් ජීවිතය දිනන්නට වෙර දරන ළමයිනේ, අනුන් සිදුකළ වැරදිවලට ඔබ අද දුක විඳින බව ඇත්ත. නමුත් කුමන බාධක පැමිණියද ඔබේ සිහින අත්නොහරින්න. හිත ශක්තිමත් කරගෙන, සෑම අපහසුතාවයක්ම දරාගෙන ඔබට හැකි උපරිමයෙන් ඔබේ අධ්‍යාපන කටයුතුවල නියැළෙන්න අදිටන් කර ගන්න. ලෝකය දිනන්නට වෙර දරන ඒ ශක්තිමත් ගමනට මේ උපදේශයන් ශක්තියක්ම වේවා.

පුංචි කාලේ දහම් පාසලේදී හාමුදුරුවෝ අපිට උපදෙස් දෙනවිට නිතර නිතර පැවැසූ කවියක් තමයි,

‘දැන ඉගෙන ගත්තම තමයි කෙනෙකුගෙ වත්කම

ගුණ නුවණ දැක්කම ඔබට සලකයි ලොවේ ඔක්කොම’

තවත් මතකයි අපි ඒ කාලේ පාඩම් කළා. දුක් කරදර විඳ විඳ හෝ ඇල්මෙන් අකුරු ඉගෙනගන්න කියලා වදන් කවි පොතේ තිබෙන ලස්සන කවි.

‘අල්ලට සිඟාවත් රස නැති කැවිලි              කකා

වල් කොළ බිම අතුට නිදි නොලැබ දුක්          තකා

කල් ගිය රෙදි වැරැලි ඇඳ දැළි කුණෙන්          වකා

ඇල්මෙන් අකුරුඋගනිව් ඉදිරි වැඩ                  තකා’

ඒ කාලේ ගිරවු වගේ පාඩම් කරලා ඒ කවි කිව්වට මොකද පස්සෙ කාලෙක තමයි තේරුණේ ඒ කවිවල තිබෙන ඇත්තම වටිනාකම සහ බොහෝමයක් සිංහල උපදේශ කවිවල සංස්කෘත ආභාසය ඇති බව. සංස්කෘත උපදේශ සාහිත්‍යය තරම් ජීවිතයට වටිනා පාඩම් කියා දෙන අන් කිසිදු සාහිත්‍යයක් නොමැති තරම්ය. සංස්කෘත සාහිත්‍යයෙහි එන ඉගෙනීමෙහි වටිනාකම පිළිබද කියැවෙන වටිනා උපදේශ කිහිපයක් මෙම ලිපිය තුළින් විස්තර කරමි. 

ඉගෙනගැනීම, යම්කිසි විද්‍යාවක් හැදෑරීම අප සිතන තරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා උනන්දුව, කැපවීම, උත්සාහය අවශ්‍යයෙන්ම තිබිය යුතුය. ඔබ අසා ඇති ‘ඉගෙනීම කටු අත්තකි. එහි ඵලය මල් ඉත්තකි’ යන ප්‍රකාශයක්. ඇත්තටම ඉගෙන ගන්න එක කටුකයි, වෙහෙසකරයි. නමුත් එහි ඵලය ලස්සන මල් ඉත්තක් මෙන් නෙත, සිත, ගත පිනවයි. එම සුවඳින් අප පමණක් නොව අප අවට සිටින අයගේද ජීවිත සුවඳවත් වේ. ලස්සන වේ. අව්, වැසි, සුළං, ඉවසා නොසැලී, නොවැටී ගසක් සුවඳැති මල් ඉත්තක් පුබුදුවා ගන්නේ යම් සේද එසේම විවිධ දුක්-කරදර, හිරිහැර, අපහසුතා විඳ දරා ගෙන අපේ ජීවිතය සුවඳවත් කරන දැනුම, බුද්ධිය නමැති ලස්සන මල් ඉත්තක් පුබුදුවා ගන්නට නිරන්තරයෙන්ම වෙර දරමු.

අධ්‍යාපනය, අපට ලෝකය කියා දෙයි. ලෝකයෙහි ජීවත් වෙන හැටි කියා දෙයි. කායික, මානසික සුවය කරා යන ගමන් මඟ කියා දෙනවා. කොටින්ම කිව්වොත් යහපත් දිවියක් ගත කිරීම සඳහා අවශ්‍ය වන විනය, සුදුසුකම්, ධනය, ධර්මය, සුවය, යන මේ හැම දෙයක්ම ළඟාකර දෙයි.

‘විද්‍යා දදාති විනයං විනයාද් යති පාත්‍රතාම්

පාත්‍රත්වාද් ධනමාප්නෝති ධනාද් ධර්ම– තත– සුඛම්.’

(අප ඉගෙනගන්නා ශාස්ත්‍රය අප හට විනය ලබා දෙනවා, විනයෙන් සුදුසුකමද, සුදුසුකම් ලැබීමෙන් ධනයද, ධනයෙන් ධර්මයද, ධර්මයෙන් සැපයද ලබා දේ.)

මෙම ශ්ලෝකයෙන් කියා දෙන්නේ නිසි ලෙස ඉගෙනීමෙන් අප හට ලැබෙන යහපත් ප්‍රතිඵලයන්ය. ඉගෙනීම අපට ගුණධර්ම කියා දෙයි. හික්මීම කියා දෙයි. විනයගරුකව ජීවත් වෙන්න කියා දෙයි. කළ යුත්ත නොකළයුත්ත කියාදී විනයගරුක කරයි. ඉගෙනගත් විනයගරුක තැනැත්තා බොහෝ දෙයට සුදුස්සකු වෙයි. යම් රැකියාවකට, යම් කටයුක්තකට සුදුසුකම් ලැබූ තැනැත්තාට ඒ මඟින් මුදල් පමණක් නොව අන් බොහෝ ධනයන් උපයා ගනියි. මේ සියල්ල එකතු වූ තැන ධර්මය ප්‍රගුණ කිරීමට වටපිටාව උදා වේ. මේ සෑම දෙයකම ඵලය ලෙස සුවපහසු, නිවැරදි දිවියක් ගත කිරීමට අවස්ථාව උදා වේ. ඒ නිසා උගතාට, බුද්ධිමතාට අන් සියල්ල පහසුවෙන් ළගා කරගත හැකි බව සිහියේ තබා ගෙන උත්සාහයෙන් ඉගෙනගත යුතුය.

‘නාස්ති විද්‍යාසමෝ බන්ධු– නාස්ති විද්‍යාසම– සුහෘත්

නාස්ති විද්‍යාසමං විත්තං නාස්ති විද්‍යාසමං සුඛම්.’

(විද්‍යාව එනම් තමන් ඉගෙනගත් දෙය හා සමාන නෑයෙක්  නැත, සහෝදරයෙක් නැත, ධනයක් නැත, සැපයක් ද නැත.)

අපේ උදවුවට අප ළඟම සිටින්නේ  නෑදෑ හිත මිතුරෝය. ඔවුන්ගේ උපකාර අප හට අවශ්‍යමය. හොඳ නැදෑයෝ, යහපත් මිතුරෝ අප ළඟින් සිටීම සම්පතකි. ඔබේ දැනුම, බුද්ධිය නෑයාටත් වඩා වටිනා නෑයෙකි. මිතුරාටත් වඩා උතුම් මිතුරෙකි. තමා සන්තකයේ තිබෙන අන් සෑම සම්පතකටම වඩා වටිනා සම්පතකි,  අසමසම ධනයකි. සුවයකි. ඒ නිසා දැනුමෙන් බුද්ධියෙන් පෝෂණය වී ඒ අසමසම සුවය ළඟා කරගන්නට නිති වෙහෙසෙමු.

‘න චෝරහාර්යං න ච රාජහාර්යං න භ්‍රාතෘභාජ්‍යං න ච භාරකාරී

ව්‍යයේ කෘතේ වර්ධතේ ඒව නිත්‍යං විද්‍යාධනං සර්වධනප්‍රධනම්.’

(සොරකුට සොරකම් කළ නොහැකි බැවින්, රජුට උදුරා ගත නොහැකි බැවින්, සහෝදරයන් අතර නොබෙදෙන බැවින්, බරක් නොවන බැවින්, භාවිත කළහොත් එය සැම විටම වර්ධනය වන බැවින් ඥාන සම්පත සැබවින්ම සියලු ධනය අතර උත්තරීතර වේ.)

අප සතුව සජීව, අජීව වස්තු බොහෝමයක් ඇත. ඇතැම් විට ඒවා හදිසියේ විනාශ වේ. භාවිත කරන වාරයක් පාසා ගෙවී යයි. විනාශයට යයි. දිරයි. පැරණි බවට පත් වේ. සොරකම් කරයි. ඇතැම් විට රාජසන්තක වෙයි. ඇතැම් වස්තූන් සහ ධනය සහහෝදරයන් අතර සමව බෙදෙයි. නමුත් ඔබ ඉගෙනගත් දෙය, ඔබේ දැනුම, බුද්ධිය කිසි දිනෙක ගෙවී යන්නේවත්, කිසිවකුට සොරකම් කරන්නටවත්, මෙතෙකැයි කියා මිල කරන්නටවත් බැරි වටිනා වස්තුවකි. භාවිත කරන වාරයක් පාසා මූවහත් වන, වර්ධනය වන උත්තරීතර ධනයකි. මේ අදහසම වදන් කවි පොතේ සුළු වෙනස්කම් සහිතව මෙසේ දැකගත හැකිය.

‘තුබූ තැනෙක සොර සතුරන් ගත නොහෙනා

එසැඩ මනාවත් වතුරෙන් වළ                            නොයනා

කෝප වුණත් රජමැතිඳුන් ගත        නොහෙනා

උගත මනා ශිල්පයමයි මතු                               රැකෙනා’

‘මාතෙව රක්ෂති පිතේව හිතේ නියුක්තේ

කාන්තේව චාපි රමයත්‍යපනීය ඛේදම්

ලක්ෂ්මී තනෝති විතනෝති ච දික්ෂු කීර්තිං

කිං කිං න සාධයති කල්පලතේව විද්‍යා.’

(විද්‍යාව, මවක මෙන් අපව රකියි. පියකු මෙන් යහපතෙහි යොදවයි. බිරියක මෙන් වෙහෙස දුරු කරවයි. සිත පිනවයි. සතර දිසාවට කීර්තිය පතුරුවයි. තමා සතු දැනුම, බුද්ධිය කල්ප වෘක්ෂයක් මෙන් සිතු පැතු දේ ලබා දෙයි.)

මේ ලෝකයෙහි කාටත් වඩා අප ගැන සොයා බලන්නේ, අපව රැකගන්නේ අපේ අපගේ මවුපියන්ය. අපේ අම්මා යම් සේ  අපව ආරක්ෂා කරයිද එසේම අප සතු දැනුම, බුද්ධිය අපව ආරක්ෂා කරයි. තාත්තා යම් සේ අපව යහපතෙහි යොදවයිද එසේම අධ්‍යාපනයත් අපව යහපතට කැඳවාගෙන යයි.

ඉන් අනතුරුව අපේ ජීවිතයට සමීපම සම්බන්ධය ස්වාමියා හෝ බිරියයි. ඔවුන් එකිනෙකාට ප්‍රියශීලීය, ප්‍රේමණීයය. ඒ අයුරින්ම අප සතු දැනුම, බුද්ධිය බිරියක, ස්වාමියකු මෙන් සිත පිනවයි, ප්‍රීතිය ගෙන එයි, වෙහෙස දුරු කරයි. තවද නැණවතෙකු බුද්ධිමතකු බවට පත් වූ පසු යසස, කීර්තිය දිශාවන්හි පැතිරේ. සාහිත්‍යයෙහි සඳහන් වන සිතූ පැතූ සම්පත් ලබා දෙන කල්ප වෘක්ෂයක් මෙන් මැනවින් ප්‍රගුණ කළ ශාස්ත්‍රය සිතූ පැතූ දෙය ලබා දෙන කල්පවෘක්ෂයකි. කල්පලතාවකි.

‘උද්‍යමේනෛව සිධ්‍යන්ති කාර්යාණි න මනෝරථෛ

න හි සුප්තස්‍ය සිංහස්‍ය ප්‍රවිශන්ති මුඛේ මෘගා–’

(උත්සාහයකින් තොරව හුදෙක් ප්‍රාර්ථනාවලින්, යාඥාවලින් පමණක් කිසිවත් සාක්ෂාත් කරගත නොහැක. දඩයමට නොගොස් නිදා සිටින සිංහයාගේ කටට ගොදුරු පැමිණෙන්නේ නැත.)

කැලේ රජා සිංහයා. උෟ කැලේ රජා යනුවෙන් නිදාගෙන සිටියොත් සිංහයා ළඟට කෑම එනවද, නෑ කවදාවත් නෑ. සිංහයා කැලේ රජා වුවත් ගොදුරු හොයාගෙන යන්නම සිදුවෙයි. ගොදුරු පසුපස හඹා යන්නම වෙයි. හති වැටෙනකන් දුවන්නම සිදුවෙයි. රජෙක් වුවත් ඔබ නිදාගෙන නම් ඔබට පැවැත්මක් නැත. අපි හැමෝටම ආවේණික වන ඉලක්ක තිබෙන අතර සැමගේම සිතෙඟි අපි හිතේ මවාගත් හීන මහ ගොඩක් තිබෙනවා. ඒ ඉලක්ක සපුරා ගන්න නම් ඒ සිහින සැබෑ කර ගන්න නම් ඔබට අවදියෙන් වැඩ කරන්නම සිදුවෙයි. හති වැටෙනකම් මහන්සි වෙන්නම වෙයි.

අපි මවන හීන අපි දකින අනාගත හීන මල් බන්දේසිවල තබා පිළිගන්වන්න කිසිවෙක් නැත. ඔබේ හීන අයිති ඔබට. ඒ නිසා මහන්සි නොබලා වැඩ කරන්න. රෑ ගණන් නිදි නැතිව වැඩ කරන්න. මොන විධියේ කරදර බාධක පැමිණියත් හිත හයිය කරගෙන වැඩ කරන්න. ඔබේ බලාපොරොත්තු, ඔබේ සිහින උත්සාහ කිරීමෙන් විතරමයි සඵල කර ගන්නට හැකි වෙන්නේ. උත්සාහ කරන්න සමහර විට වරදී. ප්‍රතිඵලය කුමක් වුවත් උත්සාහය අත්නොහරින්න. උත්සාහ කරපු කිසිම අවස්ථාවක ඔබට යම් දෙයක් ලැබුණා මිස නැති වුණේ නැත.

‘සුඛාර්ථි චේත් ත්‍යජේත් විද්‍යාං විද්‍යාර්ථි චේත් ත්‍යජේත් සුඛම්

සුඛාර්ථින– කුතෝ විද්‍යා කුතෝ විද්‍යාර්ථින– සුඛම්.’

(ඔබ සැප කැමැති නම් ඉගෙනීම අත් හරින්න. ඉගෙනීම කැමැති නම් සැපය අත් හරින්න. සැප කැමැත්තාට ඉගෙනීමක් කොයින්ද? ඉගෙනීම කැමැත්තාට සැපක් කොයින්ද?)

ඇතැම් විට ඔබට සිතෙනවා ඇති ඉගෙන ගන්න එක මහ දුකක්, කරදරයක් යනුවෙන්. ඔව් ඉගෙන ගන්න එක දුකක් කරදරයක්. උත්සාහයෙන් කළ යුතු දෙයක්. කැපකිරීම් කරලා ලබා ගතයුතු දෙයක්. අමාරුවෙන් සාක්ෂාත් කරගත යුතු දෙයක්. ඔබට සිතෙනවද උත්සාහ නොකර ජයග්‍රහණය අත්විඳින්න පුළුවන් කියලා. ඔබට සිතෙනවද කැපකිරීම් නොකර ඔබේ බලාපොරොත්තු සැබෑ කරගන්න පුළුවන් කියලා.

ඔබට හිතෙනවාද දුක් විඳින්නෙ නැතුව සිහින සැබෑ කරගන්න පුළුවන් කියලා. බෑ කවදාවත්ම බෑ. ඔබ කැපකිරීම් කරන්න කැමති නැත්නම්, ඔබ උත්සාහ කරන්න කැමති නැත්නම්, නිදි වරන්න, කය වෙහෙසන්න, මොළේ වෙහෙසන්න කැමති නැත්නම්, කොටින්ම කියනවා නම් මල් යහනාවක සැතපෙමින් අතට පයට වැඩකාරයෝ තබාගෙන ඉගෙන ගන්න කැමති නම් ඔබ අදම, මේ දැන්ම ඉගැනීම නවත්වන්න. මොකද විද්‍යාර්ථියාට, ඉගෙනගන්න කැමති කෙනාට සැප විඳීමක් කියලා දෙයක් නෑ.

මේ ලෝකෙ කිසිම කෙනෙක් නිදාගෙන ඉඳලා ලෝකය දිනා නැත. මේ ලෝකෙ කිසිම කෙනෙක් කම්මැළිකමේ සිට විද්‍යාඥවරු, මහාචාර්යවරු වී නැත. කුසට අහරක් නැතිව, නෙතට නින්දක් නැතිව රළු බොරලු මංපෙතක දුක සේ ඇවිද ගොස් ලබා ගත් ප්‍රතිඵලය. අසීමිත කැපකිරීමක ප්‍රතිඵලය. අසීමිත උත්සාහයේ අග්‍රඵලය. ඒ නිසා ඉගෙනගන්න කැමැති කෙනාට, ඉගෙනගෙන ලෝකය දිනන්න කැමති කෙනාට දුක් විඳින්නට සිදුවෙයි. දුෂ්කරතාවලට මුහුණදෙන්නට සිදුවෙයි. අනාගතයෙහි ඔබට හිමි ලෝකය නිර්මාණය කරගත යුත්තේ අන් කවරකුවත් නොව ඔබමය. 

ඒ සුන්දර ලෝකය තනාගන්නට, ඒ ලස්සන සිහිනය සැබෑකරගන්නට වෙහෙස විය යුත්තේද ඔබමය. අද කාලේ අත්විඳින්නට සිදුවෙන දුක් පීඩා කම්කටොලු ඉවසන්න පුරුදු වෙමු. සෑම අපහසුතාවයක්ම ශක්තියක් කරගමු. පාඩමක් කරගමු. හිතින්, ගතින් වැටෙන වාරයක් පාසා පෙරටත් වඩා ශක්තිමත්ව නැඟිටිමු. ඔබේ ජයග්‍රහණය දැක අසීමිත ප්‍රීතියෙන් පිනා ගිය ආදරණීය අම්මාගේ, තාත්තාගේ මුහුණ මතකයට නඟාගෙන මහන්සි වී වැඩ කරමු. කුමන කරදර, අපහසුතා පැමිණියද ඒ සියල්ල දරා ලස්සන සුවදැති මල් මෙන් පිබිදෙමු. ජයග්‍රහණයෙන් මිස ආපසු නොහැරෙමු.

රාජකීය පණ්ඩිත

මාවෙල

සීලරතන හිමි