අපි දුක්විඳලයි මෙතැනට ආවේ

0
52

වේදිකාවට රංගනයට පැමිණි ඇය අප රටේ සිටින දක්ෂ, කුසලතා පූර්ණ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. මේ දිනවල විකාශය වන දෙකොණ මාරුව, මහවිරු පණ්ඩු සහ නීල පබළු ආදී ටෙලි නාට්‍යය කිහිපයකටම තම රංගන දායකත්වය ලබාදෙන ඇය නමින් ප්‍රවීණ රංගන ශිල්පිනී කුමුදුනි අධිකාරි. මෙවර හදගැස්ම කතාබහ වෙන්වන්නේ ඇය වෙනුවෙනි. මේ දිනවල වැඩකටයුතු මොනවද?

මේ දිනවල දෙකොණ මාරුව ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. ඊට අමතරව අම්පාරේ රූගත කිරීම් කරන තවත් අලුත් වැඩකටත් කතා කොට තිබෙනවා. ඒ හැරුණු විට සුපුරුදු පරිදි රැකියාවේ වැඩකටයුතු කරගෙන යන අතරතුර හඬකැවීම් කටයුතුවලටත් සම්බන්ධ වෙලා ඉන්නවා.

මහවිරු පණ්ඩු ටෙලි නාට්‍යය ගැන මුලින්ම කියමු?

ඔව්. මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන කා අතරත් ඉතාම ජනප්‍රිය මහවිරු පණ්ඩු  ටෙලි නාට්‍යයේ “කපුරි” කියන චරිතයට තමයි මම රංගනයෙන් දායක වෙන්නේ.

ඔබ සම්බන්ධ වන දෙකොණ මාරුව ටෙලි නාට්‍යයත් මේ දවස්වල හොඳ ප්‍රතිචාර ලැබෙනවා නේද?

ඔව්. දෙකොණ මාරුව කියන්නේ මේ කාලයේදී මට ලැබුණු තෑග්ගක් කියලා මම සිතනවා. බොහෝ වෙලාවට අපි එකම වගේ චරිතවලට කොටු වෙනවානේ. ඒ තුළ නපුරු චරිත, කට සැර චරිත වගේ චරිත තමයි වැඩිපුරම ලැබෙන්නේ. එවැනි එක් චරිතයක් කළ පසු දිගටම ලැබෙන්නේ ඒ ආකාරයේ චරිතම තමයි. නමුත් දෙකොණ මාරුවට මට ආරාධනා කරන විටදීම සුරංග සතරසිංහ මහතා මට කිව්වේ, “නංගි අපි මේකේ ලොකු වෙනසක් කරමු කියලායි.”

ඒ කියන්නේ එම නාට්‍යය තුළ රංගන පරාසයක් සහිත චරිතයක් නේද ඔබට ලැබිලා තිබෙන්නේ?

ඔව්. සොමි අම්මා කියන චරිතය, එම චරිතය තරමක් හාස්‍යය පැත්තටත් බරයි. නමුත් චරිත අභ්‍යන්තරය ගත් කල හාස්‍යමය පැත්තට පමණක්ම බර වීමක් නැහැ. තරමක් කටසැර, අවස්ථාවට අනුව ගති ලක්ෂණ වෙනස් වන්නාවූත් තමන්ගේ පුතුට සහ ලේලියට ආදරය කරන මවක්, නැන්දම්මා කෙනෙක් වශයෙන් ගලා යන චරිතයක්.

ඔබ මුලින්ම සම්බන්ධ වන්නේ වේදිකාවට නේද?

ඔව්. මම දැන් කලා ක්‍ෂේත්‍රයට පැමිණ අවුරුදු 35ක් පමණ වනවා. අතීතයේදී වේදිකා නාට්‍යවල පමණක්ම රංගනයේ යෙදුණු කාලයකුත් තිබුණා. එහෙම ඇවිල්ලා තමයි අද මේ තැන ඉන්නේ. මම උසස් පෙළ කළේ 1977 වසරේදී. ඒ අවධියේදී තමයි රංගනයට මුලින්ම සම්බන්ධ වුණේ. ඊට පෙරත් දහම් පාසලේදී විවිධ නාට්‍යයවල රංගනය සිදුකළා. ඒ හැකියාවන් දුටු මගේ යහළුවෙක් එයාගේ අයියා කෙනකුගේ මාර්ගයෙන් එකල තිබූ ජනප්‍රිය සහ ප්‍රසිද්ධ වේදිකා නාට්‍යවල රංගනයට මට අවස්ථාව සලසා දුන්නේ. එහෙම තමයි කලා ගමනේ ආරම්භය  සිදුවුණේ.

වේදිකාවට කලාවට පිවිසීම පිළිබඳව මොනවගේ සතුටක්ද තිබෙන්නේ?

වේදිකාවේ අපි අවුරුදු ගණනාවක් දුක්විඳලා තමයි මේ තැනට ආවේ. ඒ කියන්නේ එදා අපිට දැන් වගේ කිසිම පහසුකමක් තිබුණේ නැහැ. පයින්ම තමයි ගොඩක් ගමන්බිමන් ගියේ. එහෙම ගිහිල්ලත් ගොඩක් දුක්විඳලා තමයි අපි වේදිකාව ජය ගත්තේ. එදා ඒ විදිහට වේදිකාවෙන් ලද පන්නරය සහ අත්දැකීම් මත අදටත් ලැබෙන ඕනෑම ආකාරයේ චරිතයක් සජීවී ආකාරයට ඉතා පහසුවෙන් නිරූපණය කිරීමේ හැකියාව අපට තිබෙනවා. ඒ වගේම විවිධ පරාසයන්වල, විවිධ වයස් මට්ටම්වල අය සමඟ පවා කිසිදු චකිතයකින් තොරව රංගනයේ යෙදීමේ හැකියාවත් අපට තිබෙනවා.

ඔබ මේ වන විට සම්බන්ධ වී ඇති වේදිකා නාට්‍යය පිළිබඳව කෙටියෙන් යළි මතක් කිරීමක් කළොත්?

සුගත් සමරකෝන් මහතාගේ කමාන්ඩෝ දියසේන, ජනක් ප්‍රේමලාල් මහතාගේ අබුද්දස්ස කෝලම, උපාලි කීර්තිසේන මහතාගේ පාරේ ගෙදර, සිසිල් ගුණසේකර මහතාගේ රැළිය වගේ වේදිකා නාට්‍යය 150ක පමණ වැඩි ප්‍රමාණයක රංගනය සම්බන්ධ වෙලා තිබෙනවා.

ඔබ පූර්ණකාලීනව කලාවේ නියැළෙන කෙනෙක්ද?

මම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අයිති කැස්බෑව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවය කරනවා.

වර්තමානයේදී රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය ගැන මොකක්ද ඔබේ අදහස?

රැකියාව පැත්තෙන් ගත්තොත් අපි වැඩකරන ක්‍ෂේත්‍රයත් බොහොම අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා සිටිනවා. අපි ගොඩක් වෙලාවට වැඩ කරන්නේ ගොවි ජනතාව සමඟ. ඉතින් ගොවියන්ට අවශ්‍ය ආකාරයට පොහොර ආදිය නිසි වේලාවට සැපැයීමට පවා දැන් අපට නොහැකි වී තිබෙනවා. රටක් වශයෙන් අපි සියලුමදෙනා විශාල අසීරු තත්ත්වයකට පත්ව තිබෙනවා. එනිසා කලා ක්‍ෂේත්‍රය ඇතුළු අපි සියලුමදෙනා එකමුතුව මේ ගැටලුවලින් ගොඩ ආ යුතුයි. එකිනෙකාට එකිනෙකාව කපාගෙන තමන්ට පමණයි කියලා සිතාගෙන නම් මේ ගමන යන්න බැහැ. ආත්මාර්ථකාමීත්වයෙන් පමණක් වැඩ කළොත් නම් මේ ගැටලුව තවදුරටත් වැඩි වේවි.

උතුම් පැතුම් ටෙලි නාට්‍යයේ අම්මාගේ චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා නේද?

ඔව්. උතුම් පැතුම් ටෙලි නාට්‍ය පසුගියදා දහවල් කාලයේදී සිරස නාළිකාවේ නැවත විකාශය සිදුවුණා. ඇත්තටම එය නරඹපු ගොඩක් දෙනෙක් කතා කරලා හොඳ ප්‍රතිචාර දැක්වූවා. එයත් හුඟාක් හොඳ ප්‍රතිචාර ලැබුණු ගොඩක් දෙනක් ආදරයෙන් වැලඳගත්ත ඉතාම ලස්සන නිර්මාණයක්. සඳුන් රාජකරුණා මහතාගේ උතුම්-පැතුම්, පැහැසරා, සිහින පියාපත් සහ නීල පබළු වගේ සම්මානයන්ට පවා පාත්‍ර වූ නාට්‍ය සියල්ලකම මම හොඳ ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳෙන චරිත මට ලැබුණා.

තරුණ පරපුර ගැන මොකද සිතෙන්නේ?

අද ඉන්න බහුතරයක් තරුණ ළමයි හරි දක්ෂයි. එදා අපි වේදිකාවේ අවුරුදු ගණනාවක් කරක්ගසා තමයි මේ තැනට ආවේ. එදා අපි ක්‍ෂේත්‍රයට ආව කාලයේ වගේ නෙවෙයි. එයාලාගේ දක්ෂතා හැකියාවන් පෙන්වන්න ඕනි තරම් අවස්ථාවන් තිබෙනවා. ඒ වගේම අධ්‍යයනය කරලා බලන්න, කියවලා බලන්න අවස්ථාවන් රැසක් හිමිවී තිබෙනවා.

වර්තමානයේ දකින්නට ලැබෙන දීර්ඝ ටෙලි නාට්‍යය පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?

මහවිරු පණ්ඩු ඇතුළු නීල පබළු, උතුම් පැතුම් වගේ නිර්මාණ කොටස් 100-150 වැඩි ප්‍රමාණයක් විකාශය වුණු නිර්මාණනේ. තිරපිටපත් රචකයා අතේ තමයි දීර්ඝ ටෙලි නාට්‍යයක සාර්ථක බව රැඳී තිබෙන්නේ. මොකද තිරපිටපත හොඳ නම් එම නිර්මාණය තුළින් සෑම දිනයකදීම රසිකයාට නැවුම් අත්දැකීමක් ගෙන ආ හැකියි. ඒ වගේම රංගන ශිල්පීන් විදිහට අපටත් ඒ තුළ නැවුම් දෙයක් රසිකයන්ට තිළිණ කිරීමේ හැකියාව ලැබෙනවා.

නූතන ටෙලි නාට්‍යය කලාවේ බොහෝ දෙනකුට මුහුණ දීමට සිදුව ඇති ප්‍රධාන ගැටලුවක් තමයි මූල්‍යමය ගැටලුව. ඒ පිළිබඳව ඔබට මොකද කියන්න තිබෙන්නේ?

කලාකරුවන් වශයෙන් ඇතැම් විට අපට ලැබිය යුතු ගෙවීම් ප්‍රමාද වූ අවස්ථා තිබෙනවා. මා දන්නා ආකාරයට බොහෝ විට යම් නිර්මාණයක් අවසන් වූ පසු, එය කුමන හෝ නාළිකාවකට විකිණීමෙන් පසුව තමයි අදාළ ශිල්පීන්ට මුදල් ගෙවීම් සිදුකරන්නේ. එවැනි අවස්ථාවලදී අපට ලැබිය යුතු මුදල් ප්‍රමාද වෙනවා. නමුත් ඒ අතර නියමිත වේලාවට සියලුම ගෙවීම් කරන පිරිසකුත් සිටිනවා. ඒනිසා යම් නිර්මාණයකින් තමන්ට ලැබෙන මූල්‍ය වටිනාකමෙන් සෑහීමට පත්විය නොහැකි නම් එම නිර්මාණය භාර නොගෙන ඉවත් වීමේ හැකියාවත් අප සතුයි. ඒනිසා එය දෙපාර්ශ්වයේම සුහදත්වය සහ තේරුම් ගැනීම මත සිදුවිය යුතු කර්තව්‍යයක්.

සිනමාව සඳහා දායකත්වය ලබා දුන්නේ නැද්ද?

මායා චිත්‍රපටය, කොළඹ සන්නිය (නව නිර්මාණය), සංගිලි, සිකුරු යෝගය, රජ්ජුමාලා වැනි චිත්‍රපට ගණනාවකම රංගනයෙන් දායක වුණා. ඒ සෑම චරිතයක්ම මිනිසුන්ගේ මතකයේ රැඳුණ චරිත තමයි. එවැනි අවස්ථාවන් හැමෝටම ලැබෙන්නේ නැහැ. ඉතින් එවැනි නිර්මාණ ස¼දහා මට ආරාධනා කළ අධ්‍යක්ෂවරුන් ඇතුළු සියලුම දෙනාට ස්තූති කළ යුතුයි.

පවුලේ විස්තරත් මතක් කරමු?

මගේ ස්වාමියා මීට අවුරුදු 02කට පෙර පිළිකා රෝගය හේතුවෙන් අපෙන් සමුගත්තා. ඔහු ජීවතුන් අතර සිටි කාලයේදී මගේ සියලුම කාර්යයන් සඳහා ඉතාම ආසාවෙන් කැපවීමෙන් මට සහාය වුණා. ඔහු උපුල් තෙන්නකෝන්. කාලතුවක්කු හමුදාවේ සේවය කළ විශ්‍රාමලත් යුද හමුදා නිලධාරියෙක්. මට පුතාලා දෙදෙනෙක් සිටිනවා. ලොකු පුතා කාලතුවක්කු හමුදාවෙත්, පොඩි පුතා පෞද්ගලික බැංකුවකත් සේවය කරනවා. ඔවුන් දැන් විවාහකයි. දැන් ගෙදර ඉන්නේ මමයි මගේ අම්මයි පමණයි. වටපිටාවේ සියල්ලටම උදවු උපකාර කරගෙන බොහොම සැනසීමෙන්, සතුටින් අපි ඉතින් ජීවත්වෙනවා.

ස්තූතිවන්ත වන පිරිසකුත් ඇති?

ඔව්. මේ දිනවල මා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් සිදුකරන රියැලිටි තරගයක අවසන් 12 දෙනා අතරට තේරී සිටිනවා. එහි සංවිධායක මණ්ඩලයට ඇතුළු කලා කේෂ්ත්‍රය තුළ මෙතෙක් කාලයක් පුරාවට මට උදවු උපකාර කළ සියලුම දෙනාට බොහොම ස්තූතියි.

දිනූෂා මනෝරි නිශ්ශංක