අපි දැවෙන සාපිපාසා ඇත්තවුන් වෙමු

0
23

පිපාසය කියන්නේ දැඩි ශාරීරික අවශ්‍යතාවක්. මනුෂ්‍යයන්ට පමණක් නොවේ, පිපාසය වන සිවු පාවුන්ටත් දැනෙනවා. දැඩි පිපාසයට පත්වූ ‘මුවා’ ජලය කියලා සිතාගෙන මිරිඟුවක් පස්සේ දුවලා හති වැටිලා මැරිලා වැටෙනවා. කුඩා සත්තු පිපාසයට දිය බිඳක් බොන්න පුංචි දිය කඩිත්තක් ගාවට ගිය විට රැකලා ඉන්න ලොකු සතෙක් පොඩි සතාව ගොදුරු කර ගන්නවා.

 කවදාහරි ඊළඟ ලෝක යුද්ධය ඇති වෙන්නේ වතුර බෙදා ගන්න බැරුවයි. පිපාසය කියපු ගමන් අපට මතක් වෙන්නේ වතුර නැත්නම් ජලයයි. පිපාසයක් ඇති වුණාම මොනදේ තිබුණත් වැඩක් නැහැ. වතුර නැත්නම්, රත්රන් දියාරු කරලා පොවන්නද? මැණිකක් උරච්චි කරලා බොන්න දෙන්නද? සේප්පුවල ගොඩ ගහලා තිබෙන සල්ලි මිටි මිරිකලා පොවන්නද? මුහුදේ කොච්චර වතුර තිබෙනවාද? පිපාසයක් ඇති වුණාම මුහුදට පැනලා මුහුදු වතුර බීගෙන බීගෙන යන්නද? පිපාසය සංසිඳෙනකම් එහෙම වුණොත් ජීවිතේම නැති වේවි. අද අපි මේ කතා කරන්න යන්නේ ඒ ශාරීරික පිපාසය ගැන නෙවෙයි.  ආත්මික පිපාසය ගැනයි.

ගැලවීමේ ඉතිහාසයේ දෙවියන් වහන්සේ ආදිපිතුරුවරුන්, නායකවරුන්, රජවරුන්, පූජකවරුන් සහ දිවැස් ප්‍රසාදිවරුන්ව තෝරා ගන්නවා. ඊශ්‍රායෙල් ජනතාවගේ ආත්මික පිපාසය සංසිඳවන්නට. විශ්වාසයේ පියා හැටියට ආබ්‍රහම්තුමා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් පිපාසිතව තමන්ගේ සෙනඟව කානාන් දේශය බලා රැගෙන ආවා. වහලුන් හැටියට මිසර දේශයේ සිටි ඊශායෙල් සෙනඟව එයින් මුදා ගෙන දෙවියන් වහන්සේගේ නියමයන්ට අනුව ‘දසපනත’ යටතේ ඊශ්‍රායෙල් ජාතිකයකු හැටියට මෝසෙස්තුමා ඔවුන්ව එක්සේසත් කළා. මෝසෙස්තුමාට දැවෙන පිපාසයක් තිබුණේ මේ ඊශ්‍රායෙල් ජනතාව කිරියෙන් පැණියෙන් ඉතිරෙන පොරොන්දු දේශයට ගෙනැල්ලා ඔවුන්ව විනයානුකූල ජනතාවක් බවට පත් කරන්න.

ඒ පිපාසයම නිසා මෝසෙස්තුමා මොන බාධා පැමිණියත්, කෙනහිලිකම් ආවත් සියල්ල ඉවසා දරාගෙන සැබෑ නායකයෙක් ලෙස හතළිස් වසරක් පමණ ඒ කාන්තාර අත්දැකීම තුළ ජනතාව එතෙර කළා. රාජාවලිය ගැන මෙනෙහි කරද්දී අපි දකිනවා දාවිත් රජ්ජුරුවන්ට තිබුණ ලොකුම පිපාසය තමා යුද්ධය. රට රාජ්‍යයන් අල්ලා ගෙන ඊශ්‍රායෙල් ජාතිය මහිමයට පත් කිරීම. නමුත් ඔහුගේ පුත් සලමොන් රජු දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවේ “ප්‍රඥාව“ ඔහු පිපාසිත වූයේ හොඳ නරක දැනගෙන තමන්ගේ ජනතාව සාධාරණ ලෙස විනිශ්චය කිරීමටයි. දෙවියන් වහන්සේ ඔහුගේ ඉල්ලීම ගැන ප්‍රසන්නව මෙලොව කිසි කෙනකුට නැති තියුණු නැණ නුවණකමක් ඔහුට දානය කරනවා.

දිවැසාවලිය ගත්තම අපට පෙනී යනවා සෑම දිවැසිවරයකුටම තිබුණ පොදු පිපාසය තමයි දෙවියන් වහන්සේගේ පණිවුඩය ජනතාව වෙත ගෙන ගොස් ඔවුන්ගේ හිත් වෙනස් කිරීම සහ සමාජය සංශෝධනය කිරීම. දෙවියන් වහන්සේගේ ආශීර්වාදයෙන් බබිලෝනියාවේ විප්‍රවාස ගතව සිටි ජනතාව මුදා ගැනීමේ පිපාසයක්, “යෙසායා” දිවැසිවරයාට තිබුණේ ඒ සඳහා ඔහු නිරන්තරයෙන්ම සෙනඟව දිරි ගැන්නුවා. දෙවියන් වහන්සේගේ හඬ ශබ්දය ඔවුන් වෙතට ගලා එන්න සැලැස්සුවා. ඉන් පසු දෙවියන් වහන්සේ තෝරාගත් දිවැසිවරයා වූයේ දිවැස්වර ‘ජෙරමියා’ ඔහුගේ පිපාසය වූයේ සෙනඟගේ පාප සහ මිථ්‍යා ඇදහිලි විශ්වාස නිසා ඔවුනට පැමිණෙන්නට යන මහා විපැත්තියෙන් ඔවුන් බේරා ගැනීමයි. ඔහු දේව පණිවුඩය පිළිබඳව දැවෙන පිපාසයක් ඇති වූ අයෙක් ලෙස සැලකේ.

එසකියෙල් දිවැසිවරයා ගැඹුරු ඇදහිල්ලක් හා උදාර චින්තන ශක්තියක් තිබුණු දිවැසිවරයෙක් ලෙස ප්‍රකටයි. ජෙරුසලෙම් ජනතාවගේ ආධ්‍යාත්මික පාරිශුද්ධිය ඇති කරවාලීම සඳහා මහත් සාපිපාසයක් ඔහු තුළ වූවා. මෙසේ පැරණි ගිවිසුම තුළ දෙවියන් වහන්සේගේ හඬ ශබ්දයට ඇහුම්කන්දී උන්වහන්සේගේ පණිවුඩයට සාපිපාස වූ සෑම තෝරාගත් නායකයෙක්ම තම ජීවිතය පවා පරදුවට තබා ඒ දූත කාර්ය අකුරටම කළ ආකාරය ගැලවීමේ ඉතිහාසය තුළ අපට පෙනී යයි. පැරණි ගිවිසුමේ අවසන් දිවැස්වරයා සහ නව ගිවිසුමේ පළමු දිවැසිවරයා වූ ස්නාවක ජුවාම්තුමා යුක්තියට සාපිපාසිතව තම ජීවිතය පවා පූජා කළේය. උන්වහන්සේ තුළ තවත් ආකාරයකින් දැවෙන පිපාසයක් තිබුණේ ක්‍රිස්තුස් වහන්සේට ‘පෙරමඟ’ සකස් කර දීමටයි. ස්වාමීන් වහන්සේට ‘ඇද නැති මාවතක’ සාදා දීමටයි.

එක් දිනක් ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ දූත සේවාව කරමින් ඉන්න අතරතුර විඩාවෙන් සමාරියේ ජාකෝබ්ගේ ළිඳ අසලට යනවා. එහිදී හමුවන වතුර අදින සමාරිය ස්ත්‍රියකගෙන් වතුර ඉල්ලා සිටිනවා. ඇය ජේසුස් වහන්සේව හඳුනන්නේ නැහැ. එහිදී ඇයට උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවා ජීවන ජලය ගැන. “මේ වතුර බොන සෑම කෙනකුටම නැවත පිපාසය ඇති වන්නේය. එහෙත් මා දෙන වතුර බොන කවර කෙනකුට වුවත් කිසි කලෙක පිපාසය ඇති නොවෙන්නේය. මා ඔහුට දෙන වතුර සදාතන ජීවනය පිණිස ඔහු තුළ දිය උල්පතක් වන්නේය.” (ජොහාන් 4/12-14) අප ස්වාමීන් වහන්සේ මිනිස් වෙස් අරගෙන මෙලොවට පැමිණියේ මිනිසුන්ගේ ආත්මීක පිපාසය ඇති කරන්නත්, එය සංසිඳවන්නත්, සා පිපාසිතවයි.

උන්වහන්සේ මම පිපාස වෙමි කියලා කිහිපවරක්ම ප්‍රකාශ කළේ දේව ජනතාවගේ ආත්ම ගලවා ගැනීමේ පිපාසයයි. එදා ආදම් සහ ඒවගේ පාපය නිසා කැඩුණු බිඳුණු දේව මිනිස් සබඳතාව තමන්ගේ ලේ දහඩිය වගුරා ජීවිත පූජා කිරීමෙන් නැවත පිළිසකර කිරීමේ පිපාසයයි. ඒ හරහා මරණය මරා මුළු මිනිස් සංහතියටම ගැලවීම සහ ස්වර්ගීය උරුමය අත්පත් කරදීමේ පිපාසාවයි. ක්‍රිස්තුස් වහන්සේ එදා අපමණ දුක් වේදනා විඳලා කුරුස ගසේ අන්තිම හුස්ම ගනිද්දිත් “මම පිපාස වෙමි” කියලා ප්‍රකාශ කළේ තමන්ට මෙවන් මරණයක් උදා කළ අයට සමාව දීමේ සහ ඔවුන්ගේ ආත්මත් ගලවා ගැනීමේ පිපාසයෙනුයි.

එදා ඊශ්‍රායෙල් දේශයේ අබ ඇටයක් තරමට ආරම්භ කළ මේ කිතු දහම ශුද්ධාත්මයාණන්ගේ ඇල්ම බැල්ම තුළ අද මුළු විශ්වය පුරාම අතු පතුර විහිදා පැතුරුණේ වෙන කිසි දෙයක් නිසා නොවේ. අපෝස්තුළුවරුන්ගේ, ප්‍රාණ පරීත්‍යාගිවරුන්ගේ, ශුද්ධවන්තයන්ගේ, සභා නායකයන්ගේ සහ සැබැවින්ම ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කළ විශ්වාසයකයන්ගේ දැවෙන සා පිපාසාව නිසායි. අප ස්වාමීන් වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසුව ශුද්ධාත්ම ආලෝකයෙන් දැල්වුණු උන්වහන්සේගේ ගෝලයන් ඒ සුබ ආරංචිය රැගෙන එය ලොව දස අත පතළ කිරීමේ සා පිපාසාවෙන් නික්ම ගියා. ඇතැම් අයට ඒ උදෙසා ජීවිත පූජා කිරීමට පවා සිදුවූවා. ඔවුන් දස වද වේදනා විඳ මැරුම් කා ප්‍රාණ පරිÀ්‍යාගිවරුන් බවට පත් වූවා. නමුත් සභාවේ ඉදිරි ගමන කා හටවත් නවතා දමන්නට නොහැකි වුණා. “සමිඥානන් වහන්සේ ගැලවීම ලබන්නන්ගේ ගණන දවසින් දවස වැඩි කර වදාළ සේක.” (ක්‍රියා 2/47)

ඒ සුභාරංචිය ඇසීමේ නියම භාග්‍ය අප ලක් දෙරණ තුළ හරි හැටි ක්‍රියාත්මක වූයේ ශුද්ධ වූ ජුසේවාස් පියතුමාගේ පැමිණීමත් සමඟය. එදා මේ භූමිය තුළ මියැදෙමින් තිබූ කිතු දහම බේරා ගැනීමේ සා පිපාසයෙන් තනිව අප දේශයට පැමිණ කළ ඒ දූත සේවාව ගැන අද අපට සිතා ගැනීමට පවා අපහසුය. අද ලක් කිතුනු සභාවට උරුමව ඇත්තේ එදා එතුමාණන් රැක දුන් මේ සභාව පණ මෙන් රැකගෙන තවමත් මේ ශුභාරංචි පණිවුඩය නොඇසු හදවත් වෙත එය ගෙන යෑමේ පිපාසය නොවේද? ඒ සාපිපාසාව සෑම කිතුනු හදවතක් තුළම ජනිත කරවාලීමට ශුද්ධාත්ම වරම් ලැබේවායි අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.

මේ කරුණු ගැනත් සිතන්න.

කිතු දහම ගැඹුරින් දැනගෙන එය ජීවත් කරවීමේ පිපාසයක් අප තුළ තිබෙනවාද.

සැබෑ ක්‍රිස්තු අනුගාමිකයන් වීමේ පිපාසය.

අන්‍යාගමිකයන්ට ක්‍රිස්තුස් වහන්සේ ගැන කියා දීමේ පිපාසය.

පත පොතින් පමණක් නොව ජීවිත ආදර්ශය මඟින්

ලෞකික ආශාවන්ගෙන් පිරුණු ලොවක අපගේ ආත්මීක පිපාසය නැති කර නොගන්නට ස්ථීර විශ්වාසයෙන් සිටිමු.

පුත්තලම්

දිසා නායක

අඟුණවිල මීසම්පති

මොරිස්

ප්‍රියකාන්ත පියතුමා