අඟහරු ගැන ඕපාදූප සොයා යන කියුරියෝසිටි රෝවරය

0
355

පෘථිවි විද්‍යාඥයන් ප්‍රථම වරට අඟහරු පාෂාණ තුළ අඩංගු මුළු කාබනික කාබන් ප්‍රමාණය මිනුම්ගත කිරීමට පසුගියදා සමත් වී තිබේ. එලෙස නාසා ආයතනයට අයත් ගොඩාර්ඩ් අභ්‍යවකාශ පියාසැරි මධ්‍යස්ථානයේ (Goddard Space Flight Center) විද්‍යාඥයන් විසින් මෙම මිනුම් සිදුකර තිබෙන්නේ වසර ගණනාවක් පුරා අඟහරු මත සක්‍රියව ගවේෂණයේ යෙදෙන NASA ආයතනයේ කියුරියෝසිටි රෝවරය ග්‍රහණය කරගත් දත්ත විශ්ලේෂණය කරමින්ය. සිකුරු හැරුණු විට පෘථිවියේ සගයා වන රතු ග්‍රහලොව හෙවත් අඟහරු යනු නිරන්තරයෙන් පෘථිවියෙන් එපිට ජීවයක් පිළිබඳව කතා කිරීමේදී උද්ධෘත වන ග්‍රහලොවකි. ඊට ප්‍රධානතම හේතුව සිකුරු සහ පෘථිවිය හැරුණු කොට අඟහරු ග්‍රහයාද අප සෞරග්‍රහ මණ්ඩලය තුළ ජීවය ඇතිවීමට ඉඩ ඇති කලාපය (Habitable Zone) තුළ පිහිටා තිබීමයි.

තවමත් අඟහරු මතින් ජීවයක සලකුණක් සොයාගෙන නොමැති වුවද වසර ගණනාවක් පුරා සිදුකළ ගවේෂණවලින් ජීවය තිබිය හැකි බවට හෝ මීට වසර මිලියන ගණනාවකට පෙර ජීවය පැවති බවට සැක කෙරෙන සාක්ෂි අඟහරු පෘෂ්ඨය මතින් හමුවී තිබේ. වර්තමානය වන විට ඇමරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනය පෙරමුණ ගත්තද, අඩ සියවසකටත් වඩා පැරණි අඟහරු ගවේෂණ ඉතිහාසය ආරම්භ වන්නේ ක්‍රි.ව. 1960 දී සෝවියට් සමූහාණ්ඩුව විසින් දියත් කළ මාස්නික්-1 (Marsnik-1) අභ්‍යවකාශ යානයෙනි.

කෙසේ නමුත් මාස්නික්-1 යානය සාර්ථකව පෘථිවි කක්ෂයකට හෝ ළඟාවීමට අසමත් වූ අතර ප්‍රථම වරට අඟහරු වෙත සාර්ථකව ලඟාවූයේ ක්‍රි.ව. 1964දී නාසා ආයතනය විසින් දියත් කළ මැරිනර්-4 (Mariner-4) අභ්‍යවකාශ යානයයි. එතැන් පටන් ගතවූ වසර 58 තුළදී නොයෙක් මාදිලිවල අභ්‍යවකාශ යානා බොහෝ සංඛ්‍යාවක් අඟහරු වෙත ළඟාවීමට සමත් විය. ඒ නාමාවලිය අතරට අඟහරු ආසන්නයෙන් ගමන් කළ බහු මෙහෙයුම් යානා, කක්ෂගත චන්ද්‍රිකා, ගොඩබැසීම් යානා, රෝවර පමණක් නොව කුඩා හෙලිකොප්ටර ද එකතු විය. කියුරියෝසිටි යනු අඟහරු මත සාර්ථකව රාජකාරී කළ රෝවර අතරින් සිවුවැනි නාසා රෝවරයයි. (ඊට පෙර පාත්ෆයින්ඩර් යානයේ සොජොනර් රෝවරය, ස්පිරිට් රෝවරය සහ ඔපචුනිටි රෝවරය සාර්ථකව අඟහරු කබොල මත ගමන් කර තිබිණි.)

ජීවය සම්බන්ධව සිදු කරන ලද අඟහරු ගවේෂණවලදී කියුරියෝසිටි රෝවරය වැදගත් ස්ථානයක් ලබා ගනියි. කියුරියෝසිටිගේ මූලික අරමුණු අතරේ අඟහරු මත කාබනික කාබන්වල සහ ජීවයේ මූලික ඒකකවල පැවැත්ම සෙවීම, අඟහරු පාෂාණවල ස්වභාවය සහ අඟහරු කබොලේ රසායනික ස්වභාවය පිළිබඳ ගවේෂණය කිරීම ප්‍රධාන වෙයි. මේ දක්වා අඟහරුමත දින 3500කට අධික කාලයක් පුරාවට සාර්ථකව රාජකාරී කරන කියුරියෝසිටි රෝවරය අඟහරු කබොල මත සැතපුම් 17කට අධික දුර ප්‍රමාණයක් සැරිසරා ඇත. ඒ අතරවාරයේදී එය කිහිප වාරයක්ම පාෂාණ නියැදි පරීක්ෂා කර ඇති අතර ඉන් සමහරක් කාබනික කාබන් සං‍යුතීන් පරීක්ෂා කිරීමටද යොදාගෙන ඇත. පාෂාණ නියැදි ලබාගැනීම සඳහා කියුරියෝසිටි සතුව රොබෝ අතක්ද පවතියි. එමඟින් දැඩි අඟහරු පාෂාණ විදීමකට ලක් කර සහ සියුම් පාෂාණ කුඩා “කුල්ලකින්” හෝ එකතු කර ඒවා SAM උපකරණය තුළ තැන්පත් කරයි. පාෂාණ නියැදිය පරීක්ෂාවකට ලක්වෙන්නේ ඒ තුළදී ය.

මෙම අධ්‍යයනය තුළදී යොදාගත් මිනුම් සහ ගණනය කිරීම් සඳහා විද්‍යාඥයන් යොදාගෙන තිබුණේ කියුරියෝසිටි රෝවරයේ SAM හෙවත් අඟහරුහි නියැදි විශ්ලේෂකය (Sample Anlysis at Mars) විසින් ලබාගත් දත්තයන් ය. මෙම SAM උපකරණය කියුරියෝසිටි රෝවරයේ විද්‍යාත්මක උපකරණ අතරින් හරි අඩකට වඩා ඉඩ ප්‍රමාණයක් අත් කරගන්නා ජංගම රසායනාගාරයක් වන අතර මෙය නිර්මාණය කර ඇත්තේද අඟහරු පාෂාණ තුළින් කාබනික ද්‍රව්‍ය හඳුනා ගැනීම උදෙසා ය. කිලෝග්‍රෑම් 40ක පමණ ස්කන්ධයකින් සමන්විත, ප්‍රමාණයෙන් ක්ෂුද්‍ර තරංග උදුනක් තරම් වන මෙම විද්‍යාත්මක උපකරණය කියුරියෝසිටි රෝවරයේ මධ්‍යයේ පිහිටි “දේහය” තුළ පිහිටයි.

නාසා ආයතනයට අයත් ගොඩාර්ඩ් අභ්‍යවකාශ පියාසැරි මධ්‍යස්ථානය විසින් නිර්මාණය කළ මෙම SAM උපකරණය තුළ අඩංගු බොහෝමයක් විද්‍යාත්මක උපකරණ පෘථිවිය මත පවතින විද්‍යාගාරයක උපකරණවලට බොහෝ සමාන වෙයි. මෙමඟින් ජීවය හා සම්බන්ධ මෙතේන් ඇතුළු කාබනික සංයෝග සොයා බලන අතර එම සංයෝග අඟහරු මතදී උත්පාදනය වී විනාශ වන ආකාරය පිළිබඳව ගවේෂණය කරයි. SAM උපකරණය එකිනෙකට වෙනස් කාර්යයන් උදෙසා නිර්මාණය කළ උප කොටස් 5 කින් සමන්විත වෙයි.

උදුන් (Ovens) – මෙමඟින් ලබාගත් පාෂාණ සාම්පල සෙල්සියස් අංශක 1,000ක (ෆැරන්හයිට් අංශක 1,800 ක) පමණ උෂ්ණත්වයකට රත් කිරීම සිදු කරයි.

නියැදි හැසිරවීමේ පද්ධතිය (Sample Manpulation System) – මෙහි කුඩා කෝප්ප වැනි ව්‍යුහ 74ක් අඩංගු වන අතර ඒවායින් කෝප්ප 59ක් ක්වාට්ස්වලින් නිර්මිත අතර ඒවා පාෂාණ  නියැදි රත් කිරීම උදෙසා යොදාගනියි. අන්තර්ගතය අනුව ගත් කල සම්පූර්ණ කෝප්ප ප්‍රමාණයෙන් කෝප්ප 9ක ක්‍රමාංකණ නියැදිද, කෝප්ප 9ක අඩු උෂ්ණත්ව පර්යේෂණ සඳහා රාසායනික ද්‍රාවකද පවතියි.

වායු වර්ණ රේඛණය (Gas Chromatograph) – මෙහි කාර්යය වන්නේ වියෝජනය වීමේදී විමෝචනය වන වායූන් හඳුනා ගැනීමේ පහසුව සඳහා වෙන් කිරීමයි.

ස්කන්ධ වර්ණාවලිමානය (Mass Spectrometerr) -මෙහි කාර්යභාරය වන්නේ කාබන්, ඔක්සිජන්, නයිට්‍රජන්, පොස්පරස් සහ සල්ෆර් වැනි ජීවයට අවශ්‍යවන ප්‍රධානතම මූලද්‍රව්‍ය හඳුනා ගැනීමය.

සුසර කළ හැකි ලේසර් වර්ණාවලිමානය (Tunable Laser Spectrometer) – මෙම උපාංගය නිර්මාණය කර ඇත්තේ පිටවන වායු මිශ්‍රණය තුළ ජල වාෂ්ප හඳුනාගැනීම සහ මීතේන් අඩංගුද යන වග සොයා බැලීම උදෙසා ය. ඒ තුළ මීතේන් පවතියි නම් එම මීතේන් ජනනය වන්නේ භූ විද්‍යාත්මක ක්‍රියාවලි මඟින්ද ‍යන්න අනාවරණය කරගත හැකියි.

මෙම සංවේදී උපාංගවල සංවේදීතාව කාබනික සංයෝගයකින් බිලියනයකට එක කොටසක් පමණ වේ. (සුළු ප්‍රමාණවලින් සාන්ද්‍රණ අගයන් දැක්වීමේදී මේ ආකාරයට බිලියනයකට කොටස් (Parts Per Billion – ppb), මිලියනයකට කොටස් (Parts Per Million – ppm) වැනි ඒකක බහුලව යොදා ගනියි.) මෙහිදී රෝවරය විසින් ලබාගත් කුඩු කරන ලද පාෂාණ නියැදිවල කොටස් මෙම උපකරණය තුළ ඉහළ උෂ්ණත්වයකට රත් කිරීමේදී ඒවා තුළ ඇති සං‍රචක වාෂ්ප වී යයි. එහිදී එම වාෂ්පය අධ්‍යයනය කිරීම හරහා SAM හි සංවේදී උපාංග මඟින් එවායේ මූලද්‍රව්‍යවල සාන්ද්‍රණය මනිනු ලබයි. එහිදී පාෂාණවල අඩංගු කාබනික කාබන්ද කාබන්ඩයොක්සයිඩ් ලෙසින් විමෝචනය වෙයි. (කාබන්ඩයොක්සයිඩ් යනු අකාබනික කාබන් විශේෂයක් වන අතර ඊට හේතුව කාබන් බැඳී පවතින්නේ ඔක්සිජන් පරමාණුවක් සමඟ වීමයි.) ඇතැම් අවස්ථාවන්වලදී කාබන් ඇතැම් ලවණ වර්ග තුළ සිරවී ඇති නිසා එම කාබන් විමෝචනය කිරීම සඳහා නියැදිය ඉහළ උෂ්ණත්වයකට රත් කරයි.

සම්පූර්ණ කාබනික කාබන් ප්‍රමාණය යනු ජීවය සඳහා අත්‍යවශ්‍ය වූ රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී ඒවා පවතින ප්‍රමාණයන් පිළිබඳව අදහසක් ලබා ගැනීමට උපකාරී වන මිනුම්වලින් එකකි. මෙම මිනුම් අඟහරු වැනි ග්‍රහයකු සම්බන්ධව වැදගත් වන්නේ අඟහරු යනු මීට වසර මිලියන ගණනාවකට පෙර ජීවය පැවැති බවට සැක කෙරෙන ග්‍රහ මතුපිටක් වීම නිසාවෙනි. “අපි මෙහිදී අවම වශයෙන් කාබනික කාබන් මිලියනයකට කොටස් 200 සිට 273ක පමණ ප්‍රමාණයක් සොයාගත්තා. මෙය දකුණු ඇමරිකාවේ ඇටකාමා කාන්තාරය වැනි පෘථිවියේ ජීවී ඝනත්වය ඉතා අඩු ස්ථානවල ඇති පාෂාණවල අඩංගු ප්‍රමාණය සමඟ සැසඳිය හැකි හෝ ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් වන අතර අඟහරු උල්කාපාතවලින් අනාවරණය වී ඇති කාබනික කාබන් ප්‍රමාණයටද වඩා වැඩියි” යනුවෙන් මේරිලන්ඩ්හි ග්‍රීන්බෙල්ට්හි නාසා ආයතනයට අයත් ගොඩාර්ඩ් අභ්‍යවකාශ පියාසැරි මධ්‍යස්ථානයේ විද්‍යාඥ ජෙනිෆර් ස්ටර්න් ප්‍රකාශ කරන ලදී.

කාබනික කාබන් ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ හයිඩ්‍රජන් පරමාණුවකට සහ සං‍යුජව බැඳුණු කාබන්ය. මෙම කාබනික කාබන් විශේෂ වන්නේ එය ජීවය සඳහා පදනම සපයන බොහෝ රසායනික සං‍යෝග තුළ අඩංගු වන බැවින් ය. පෘථිවිය තුළින් හ¾දුනාගෙන ඇති සියලුම ආකාරවල ජීවී විශේෂ කාබනික කාබන් භාවිත කරන නමුත් මෙමඟින් අඟහරු මතින් කාබනික ජීවයක් හමුවීමක් පිළිබඳව සනාථ නොවේ.

ඊට හේතුව කබොල මත පිහිටන ගිනිකඳු සහ නිරන්තරයෙන් අඟහරු මතට පතිත වන අනේකවිධ ප්‍රමාණවල උල්කාපාත වැනි අජෛවීය වස්තූන්ගෙන් අඟහරු මතට කාබනික කාබන් ළඟාවිය හැකි නිසා සහ අඟහරු කබොල මත ඇති රසායනික සංයෝග ප්‍රතික්‍රියා කිරීමෙන්ද මේ ආකාරයට කාබනික කාබන් නිර්මාණය විය හැකි නිසාවෙනි. එය විශේෂයෙන් බලපාන්නේ අඟහරු යනු නිරන්තරයෙන් විවිධ ප්‍රමාණවල ග්‍රහක කොටස්වලින් බැටකන ග්‍රහ මතුපිටක් නිසාවෙනි. මෙය බහුලව සිදුවන්නේ අඟහරු සතුව ඝන වායුගෝලයක් නොපැවතීම සහ දුර්වල ගුරුත්ව සහ චුම්භක ක්ෂේත්‍ර හමුවේ අභ්‍යවකාශයේ සිට පැමිණෙන ග්‍රහක කැබලි වායුගෝලීය ඝර්ෂණය හමුවේ සම්පූර්ණ ලෙස දැවීමකින් තොරවම අඟහරු පෘෂ්ඨය වෙත වේගයෙන් ඇද වැටීම නිසාවෙනි. (අපගේ චන්ද්‍රයා සහ බුධ ග්‍රහයාද මෙවැනි ග්‍රහ වස්තුවලට කදිම උදාහරණ වන අතර පෘථිවියේදී එසේ සිදු නොවන්නේ අප ග්‍රහයා සතුව ඔක්සිජන් බහුල සාපේක්ෂව ඝන වායුගෝලයක් පැවතීම හේතුවෙනි.

පෘථිවි ගුරුත්වාකර්ෂණය හමුවේ අභ්‍යවකාශයේ සිට ඇදී එන ග්‍රහක කොටස් පෘථිවි වායුගෝලයේ වායු අංශු සමඟ ඇතිවන අධික ඝර්ෂණය හමුවේ ෆැරන්හයිට් අංශක 3000ක පමණ උෂ්ණත්වයකට ලක්ව දැවී යාම නිසා පෘථිවි පෘෂ්ඨය මතට ළඟාවීමට තරම් බොහෝ උල්කාපාත වාසනාවන්ත නොවේ. මේ නිසා පෘථිවි මතුපිට බොහෝ උල්කාපාත ඝට්ටනවලින් නිරුපද්‍රිතව බේරීමට සමත් වෙයි.) කෙසේ වෙතත් අඟහරු මතින් මීට පෙරද අවස්ථා කිහිපයකදීම කාබනික කාබන් සොයාගෙන තිබුණද එහිදී සිදුකර තිබුණේ යම් සුවිශේෂී රසායනික සං‍යෝග පිළිබඳ තොරතුරු විශ්ලේෂණය කිරීම සහ කාබන් ප්‍රමාණයෙන් කොටසක් පිළිබඳව මිනුම් ලබාගැනීමක් පමණි. නමුත් මේ ආකාරයෙන් සම්පූර්ණ කාබනික කාබන් ප්‍රමාණය පිළිබඳව මිනුම් ලබාගැනීමට විද්‍යාඥයන්ට හැකිව තිබුණේ ප්‍රථමවරට ය.

ග්‍රහ මතුපිටක් මතින් ජීවයක සාක්ෂි ගවේෂණය කිරීමේදී බොහෝ කාරණා පිළිබඳ අවධානය දැක්විය යුතු අතර වායුගෝලීය සං‍යුතිය, පාෂාණ සං‍යුතිය, ජල වාෂ්පවල පැවැත්ම සහ සෙසු බාහිර පරිසර සාධකද එයට ඇතුළත් ය. මේ අතරින් කියුරියෝසිටි බොහෝ සෙයින් අඟහරු කබොලේ පාෂාණ සං‍යුතිය ඔස්සේ යමින් ජීවයේ සාධක ගවේෂණය කළ රෝවරයකි. රෝවරය අඟහරු මතට ගොඩබැස තිබුණු ගේල් ආවාටය යනු වසර මිලියන ගණනාවකට පෙර සක්‍රීයව පැවති විලක් බව අනුමාන කෙරෙන භුමි කොටසකි.

ගේල් ආවාටයේ වැඩිදුර ගවේෂණ සිදුකළ කියුරියෝසිටි රෝවරය විසින් යෙලෝනයිෆ් බොක්කෙහි (Yellowknife Bay) පැවති වසර බිලියන 3.5ක් පමණ පැරණි මඩ ගල් පාෂාණ කොටස් විදීමෙන් ඒවායේ නියැදිද පරීක්ෂාවට ලක් කරනු ලැබීය. මෙම මඩගල් ඉතා සියුම් අවසාදිත පාෂාණ කොටස් වූ අතර ඒවා යෙලෝනයිෆ් කලාපයේ අඩංගු වී තිබුණේ වැවක පතුලේ අවසාදනයක් තැන්පත්වූ ආකාරයෙන්ය. එමෙන්ම SAM උපකරණය තුළ සිදු කළ පරීක්ෂාකිරීම්වලදී අනාවරණය වී තිබුණේ මෙම අවසාදිත පාෂාණ නියැදියේද කාබනික කාබන් අන්තර්ගතව තිබුණු බවයි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ වසර මිලියන ගණනකට පෙර ජලය පැවති බවට සැක කරන භූමියක ජීවයේ පදනම් ඒකකවල අංගයක් වන කාබනික කාබන්ද අඩංගු වී තිබීමයි. උක්ත කාල සීමාව තුළ එම කලාපයේ ජලය සහ කාබනික කාබන්වලට අමතරව රසායනික ශක්ති ප්‍රභව, අඩු ආම්ලිකතාවයෙන් යුතු ප්‍රශස්ත PH අගය, ජීවය සඳහා අත්‍යවශ්‍ය වන ඔක්සිජන්, නයිට්‍රජන් සහ සල්ෆර් වැනි මූලද්‍රව්‍යන්ද තිබෙන්නට ඇත. මෙය බොහෝ විද්වත් ප්‍රජාවගේ අනුමානවලට අනගි සහයක් සපයන සොයාගැනීමකි. ඒ පිළිබඳව අදහස් දක්වා සිටි එම පර්යේෂණයේ ප්‍රධාන කතුවරයා වූ ස්ටර්න් ප්‍රකාශ කර තිබුණේ එකී ආකාරයට එම යෙලෝනයිෆ් බොක්ක පැවතියේ නම් එය ජීවයට ඉතා උචිත පරිසරයක් සපයනු ඇති බවයි.

එමෙන්ම මීට වසර මිලියන ගණනකට පෙර අඟහරු මතුපිට ද්‍රව ජලය පැවතියේ නම් එයින් පෙනී යන්නේ එකල අඟහරුගේ ගුරුත්ව සහ චුම්භක ක්ෂේත්‍රයන්ද ප්‍රකෘති තත්ත්වයේ තිබෙන්නට ඇති බවයි. මේ නිසා එම කාල සීමාව තුළදී අඟහරුගේ වායුගෝලයද සැලකිය යුතු උෂ්ණත්වයකට සහ ප්‍රශස්ත වායුගෝලීය පීඩනයකට නතුව තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය. කෙසේ වුවත් වර්තමානයේ අඟහරුගේ චුම්භක ක්ෂේත්‍රය නොගිනිය හැකි තරම් ක්ෂීණ වී ගොස් ඇති අතර සාපේක්ෂව අඩු ගුරුත්වජත්වරණය නිසා අඟහරුගේ වායුගෝලයද තුනී වායු ස්තර කිහිපයකට සීමා වී ඇත.

මීට අමතරව මෙම පර්යේෂණය තුළදී කියුරියෝසිටි රෝවරයේ SAM විසින් පාෂාණ විශ්ලේෂණයේදී ලබාගත් මීතේන්, ජල වාෂ්ප සහ කාබන්ඩයොක්සයිඩ් වැනි වායුමය සං‍යෝගවල කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් යන මූලද්‍රව්‍යන්හි ඇතැම් සමස්ථානිකවල බහුලත්වය පිළිබඳ දත්තද අධ්‍යයනය කරනු ලැබීය.සමස්ථානික යනු ඒවායේ පරමාණුවක න්‍යෂ්ටියේ අමතර නියුට්‍රෝන එකක් හෝ කිහිපයක් තිබීම හේතුවෙන් එකිනෙකින් වෙනස් වන එකම මූලද්‍රව්‍යයක අනුවාද වේ. නිදසුන් වශයෙන් කාබන්හි කාබන්-12 සහ කාබන්-13 යන සමස්ථානිකද, හයිඩ්‍රජන්හි හයිඩ්‍රජන්, ඩියුටීරියම් සහ ටි්‍රටියම් යන සමස්ථානිකද දැක්විය හැකිය. ස්වභාවයෙන් බැර මූලද්‍රව්‍යයන් ඒවායේ සැහැල්ලු මූලද්‍රව්‍යන්ට වඩා සාපේක්ෂව සෙමින් ප්‍රතික්‍රියාවලට දායක වෙයි.

මේ නිසා ලැබෙන කාබන්-12 සහ කාබන්-13 ප්‍රමාණයන් අතරෙන් සාමාන්‍යයෙන් කාබන්-12 තුළ ජෛව ක්‍රියාදාම හරහා ලැබෙන කාබනික කාබන් බහුල වෙයි. කෙසේ වෙතත් SAM හි පර්යේෂණ දත්ත මඟින් කිව හැකි වන්නේ එමඟින් හ¾දුනාගන්නා සමස්ථානික සං‍යුතිය අනුව මුළු කාබන් ප්‍රමාණයෙන් කුමන ප්‍රතිශතයක් කාබනික කාබන්ද, කුමන ප්‍රතිශතයක් ඛනිජමය කාබන්ද යන වග පමණි. නමුත් මෙම අධ්‍යයනයේ ප්‍රධානී විද්‍යාඥ ස්ටර්න් ගේ අදහස වූයේ, “ජෛව ක්‍රියාවලි සඳහා සමස්ථානික භාවිත නොවන නිසා එම උක්ත සමස්ථානික කාබන් ප්‍රතිශතය ජීවය තිබූ බවට ඍජු සාධකයක් ලෙස සැලකිය නොහැකි” බවයි.

නාසා ආයතනයේ ගොඩාර්ඩ් අභ්‍යවකාශ පියාසැරි මධ්‍යස්ථානයේ විද්‍යාඥ ජෙනිෆර් ස්ටර්න් ඇතුළු විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද මෙම පර්යේෂණය පසුගිය ජුනි 27 වැනිදා ජාතික විද්‍යා ඇකඩමියේදී ප්‍රකාශයට පත් කෙරිණි. ගවේෂණය සඳහා යොදාගත් දත්ත කියුරියෝසිටි රෝවරය විසින් 2014 වසරේදී අඟහරු පෘෂ්ඨය මතදී සිදු කළ පරීක්ෂණවල නිරීක්ෂණ වන අතර එම දත්ත විශ්ලේෂණය කිරීම සඳහා විද්‍යාඥයන්ට වසර 8ක පමණ කාලයක් ගතවී තිබේ.

සිනෙර රිද්මික