අගෝස්තු 9ට පෙර සූදානමක්

0
19

රටේ නැවත  කලහකාරී වාතාවරණයක් අගෝස්තු 09 වැනිදා ඇති නොවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ.   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජේ‍යෂ්ඨයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරන බව ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් “ඉරිදා මව්බිම” ට පැවැසීය.

ඒ සඳහා එළැඹෙන සතියේදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවද ඒ වෙනුවෙන් දිනයක් හා  වේලාවක් වෙන්කර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවද  එම ප්‍රකාශකයා කීය. පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මෙම සාකච්ඡාවට සහභාගි වීමට නියමිත බව හෙතෙම කීය.

රටේ නැවත අරගලකාරී තත්ත්වයක් ඇති වීම පිළිබඳ සමාජ කතිකාවක් ඇතිවී ඇති බවත් යම් විදිහකින් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් මේ මොහොතේ සන්සුන් වී ඇති රට නැවත අස්ථාවරත්වයට පත්විය හැකි නිසාත් එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මෙම සාකච්ඡාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවත් ඔහු කීය.

 එවැනි අරගලයක්  ඇති වුවහොත් කිසිවකුට හානියක් නොවන ආකාරයෙන් එය මැඬපැවැත්වීමටත් ඒ සඳහා ගත යුතු ආරක්ෂක ක්‍රියාමාර්ග ඇතුළු උපායමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡා කරන බවද ඔහු කීය.

ඊට අමතරව රටේ ජාතික ආර්ථිකය ගොඩනැඟීම, ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර  ලබාදීම, පොහොර සැපයීම, ගෑස් හා ඉන්ධන සැපයීම, ඔෟෂධ  සැපයීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී මූලික අවධානයක් යොමු කිරීමට කටයුතු කරන බවද එම ප්‍රකාශකයා කීය.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය