දවස් 2ට පාතාලයෝ 5ක් මරුට

0
521

ගත වූ දින දෙකක කාලය තුළ පාතාල කල්ලි ආශ්‍රිතව සිදු වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් තවත් සිවු දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මූලස්ථාන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘මව්බිම’ට පැවසීය.

මෙම වෙඩි තැබීම් මාලාවේ ආසන්නතම සිද්ධිය පෙරේදා (ජූලි 27) රාත්‍රියේ රත්මලාන, සිල්වා මාවත ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එහිදී ටී 56 වර්ගයේ ගිනිඅවි අතැතිව නිවසක් තුළට ඇතුළු වූ දෙදෙනෙකු විසින් වෙඩි තබා ත්‍රිරෝද රථ රියැදුරෙකු ඝාතනය කරනු ලැබ පළා ගොස් තිබේ.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ තිස් හැවිරිදි චරිත් උමයංග සිල්වා නමැති දෙදරු පියෙකු බව පොලිසිය සඳහන් කරයි.

අදාළ ඝාතකයන් දෙදෙනා මෙම නිවසට පැමිණ ‍ෙදාරට තට්ටු කර ඇති අතර මෙම ත්‍රිරෝද රථ රියැදුරා ‍ෙදාර විවෘත කිරීමත් සමග ම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.

පසුව වෙඩි වැදුණු මොහුව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විමර්ශන ආරම්භ කොට ඇත.

එසේ ම, අනෙක් වෙඩි තැබීම අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයෙන් පෙරේදා (ජූලි 27) රාත්‍රියේ වාර්තා වී ඇති අතර එයින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අවමංගල්‍යයක් අතර එල්ල වූ මෙම වෙඩි ප්‍රහාරයෙන් එම ප්‍රදේශයේම පදිංචිව සිටි තිරිමාදුර සුජිත් ප්‍රියන්ත (49) සහ අජිත් සුදර්ශන (42) යන දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම වෙඩි ප්‍රහාරය සඳහා ඝාතකයන් දෙදෙනෙකු පැමිණ ඇති බවත් ඔවුන් යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි ප්‍රහාරය සිදු කොට එම ස්ථානයෙන් පළාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම වෙඩි ප්‍රහාරයට ද ටී 56 වර්ගයේ ගිනි අවි භාවිත කොට ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.

ඉකුත් 26 වන දා අම්බලන්ගොඩ, ඌරවත්ත මංසන්ධියේදී වූ වසන්ත ද සොයිසා ඝාතනයේ පලිය ගැනීම සඳහා මෙම වෙඩි තැබීම සිදු කොට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

වසන්ත සොයිසාගේ පාර්ශ්වයෙන් මෙම වෙඩි තැබීම සිදුකළ බවට සැක පළවීමත් සමග එම කණ්ඩායම් සොයා පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

වසන්ත සොයිසා ඝාතනයට ලක්වූයේ ඔහු අධිකරණය හමුවේ විභාග වූ නඩුවක් සඳහා පෙනී සිට නැවත එමින් සිටියදී ය.

බූරු අජිත් නමැත්තකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් මෙම නඩුව ඔහුට විරුද්ධව විභාග වෙමින් පැවති බව පොලිසිය සඳහන් කරයි.

දකුණේ පාතාල නායකයන් අතර කලක සිට පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතන සිදුව ඇති බව ද සඳහන් වේ.

එසේ ම, ඉකුත් 26 වැනි දින ගම්පහ මහාධිකරණය ඉදිරිපිටදී සිදු වූ වෙඩි තැබීමෙන් සමන් රෝහිත පෙරේරා නොහොත් පස් පොඩ්ඩා නමැත්තා ජීවිතක්ෂයට පත්වූ අතර මෙහිදී තවත් තිදෙනෙකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත.

ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා පෙනී සිටීමෙන් පසු පස් පොඩ්ඩා තවත් පස් දෙනෙකු සමග කැබ් රථයකින් පිටව යන අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදු කොට ඇති අතර ඝාතකයන් මෝටර් රථයකින් පැමිණ වෙඩි තැබීම සිදු කොට පළා ගොස් ඇතැයි ද සඳහන් වේ.

ගම්පහ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පාතාල අණසක පතුරුවන ගනේමුල්ල සංජීව නමැති පාතාල නායකයා විදෙස් රටක සිට මෙම ඝාතනය මෙහෙයවා ඇතැයි ද පාතාල මර්දන ඒකක වෙත තොරතුරු ලැබී තිබේ.

  • චාමර අමරසූරිය, කීර්ති මෙන්ඩිස්, අහුංගල්ල – ඒ. සිවනෙත්ති