සාගලට රුවන්ට ජනපතිගෙන් තනතුරු

0
68

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තම පරිපාලන කටයුතුවලට අදාළව පත්වීම් කිහිපයක්ම සිදුකරනු ලැබ ඇත.

ඒ අනුව හිටපු අමාත්‍යවරයකු වූ සාගල රත්නායක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

ඊට අමතරව ඔහු ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේ‍යෂ්ඨ උපදේශක තනතුරටද පත්කරනු ලැබ ඇත.

යහපාලන රජයේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ සාගල රත්නායක මහතාය.  

එමෙන්ම එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති  උපදේශක තනතුරට පත්කර තිබේ.

කාබනික විමෝචනය සහ හරිතාගාර ආචරණය වළක්වා ගැනීම, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම, හරිත ආර්ථිකයක් ගොඩනැඟීම වැනි ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති වෙනුවෙන් උපදෙස් සහ සහයෝගය ලබාගැනීමට මෙම පත් කිරීම කර ඇතැයි ජනාධිපති කාර්යාලය කියයි.

මේ අතර ජනාධිපති ජේ‍යෂ්ඨ උපදේශක ධුරයට මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර සහ ශෙනුකා සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහු පත් කරනු ලැබ ඇත.

ඒ අනුව මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා ජනාධිපති ජේ‍යෂ්ඨ උපදේශක (මාධ්‍ය) ලෙසත්, මහාචාර්ය ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය ජනාධිපති ජේ‍යෂ්ඨ උපදේශක (ජාත්‍යන්තර මාධ්‍ය) ලෙසත් සිය රාජකාරි ආරම්භ කළහ. 

කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වන මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන හා සන්නිවේදන අධ්‍යක්ෂ ජනරාල් ධුර දැරීය.

විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෙබ වූ ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස්, තායිලන්තයේ  ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරිය ලෙස ජිනීවා සහ නිව්යෝර්ක්හි කටයුතු කළාය.