සර්වපාක්ෂික ආණ්ඩුවක් මිස සර්ව පුට්ටු ආණ්ඩු අපට එපා

0
209

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපතිවරණ ඡන්දයේදී තමා ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූවා නම් අනිවාර්යයෙන්ම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පවසයි.

අවශ්‍ය වුවහොත් ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගන්නා බවද අලහප්පෙරුම මන්ත්‍රිවරයා කීවේය.

කොළඹදී ඊයේ (28දා) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවැසූ අතර මෙම මාධ්‍ය සාකච්ඡාවට මන්ත්‍රිවරයාට අමතරව ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන මන්ත්‍රි කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු දස දෙදෙනෙක් එක්ව සිටියහ.

එහිදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා මෙසේද කීවේය.

පසුගිය ජනාධිපතිවරණ කටයුත්තේදී මට සහාය දුන්නු මන්ත්‍රිවරු අතරින් එකඟතාවන් දෙකක් ගොඩනැඟුණා. එකක් තමයි හදිසි නීතියට එරෙහිව ඡන්දය දෙන එක. ඒ වගේම හදිසි නීති ඡන්දයෙන් ඉවත්වෙලා ගිහින් ආණ්ඩුවට විරෝධය පළ කිරීමටත් එකඟතාවක් ඇති වුණා. හදිසි නීතිය පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ අයගේ කතාවලින් අපට ඇහුණේ එකට එක කිරීමක් වගෙයි. ආණ්ඩුව පැත්තෙන් පුරවැසියන්ගේ අයිතීන්ට ගරු කිරීම අත්‍යවශ්‍යයි. රටක පරිහානියට හේතුවක් නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම. ජනතාවගේ අයිතීන් ආණ්ඩුව සුරකිනවා වගේම ජනතා සම්පත් සුරකින ලෙසට උද්ඝෝෂණ කිරීමත්

විරෝධතා කරුවන් කළ යුතුයි.

වැරදි දෙකක් කවදාවත් හරි වෙන්නෙ නෑ.

2019දී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවන්න කටයුතු කළ අයමයි නැවත ඔහුට විරුද්ධව පාරට බැස්සේ. පවුල්, පක්ෂ පුද්ගල කේන්ද්‍රීයව ගොඩනඟපු පාලන ක්‍රමවේදය නිමාවන්නේ නැති බව තේරුම් ගත් නිසයි ඒ තරුණයන් පාරට බැස්සේ.

අපිත් එම වැරදි නිවැරැදි කර ගන්න ආණ්ඩුව ඇතුළේ ඉඳන් අරගල කළා. එය අසාර්ථක වන බව තේරුම් ගත් නිසයි අපටත් තීරණයක් ගන්න සිදුවුණේ. ඒ නිසයි අපි ප්‍රධාන විපක්ෂය සමඟ සාකච්ඡා කළේ. අපි කිව්වා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදිය යුතුයි කියලා අපි හැදුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්නයි. නමුත් සර්ව පූට්ටු ආණ්ඩු හදන්න අපි අදහස් කළේ නැහැ. අපි මේ මොහොතේත් ඉන්නේ එම මතවාදයේයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා මම ඉටු කරන්න හැදුවේ එදා ඡන්දය දුන්නු 69 ලක්ෂයක ජනතාවගේ බලාපොරොත්තු. නමුත් අංක ගණිතයෙන් එය පැරදුණු නමුත් අපි දේශපාලන වශයෙන් පරාජය වුණේ නැහැ. අපි මහජනතාව වෙනුවෙන් පෙනී සිටීම අඛණ්ඩව සිදු කරනවා.