සර්වපාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ ඉඟියක්වත් දැන් නෑ

0
191

ආණ්ඩුව ගමන් ගන්නා දිශානතිය පිළිබඳව කිසිදු පැහැදිලි අවබෝධයක් නොමැති නිසා හදිසි නීතියට පක්ෂව ඡන්දය ලබානොදීමට

පක්ෂයක් ලෙස තීරණය කළ බව ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන පැවැසීය.

අනුප්‍රාප්තික ජනපති වීමට පෙර ඒ සඳහා තරග කළ පාර්ශ්ව සියල්ල සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන බව පැවැසුවද මේ වනතුරු ඒ පිළිබඳව ඡායා මාත්‍රයක හෝ ඉඟියක් නැතැයි හිටපු ජනපති චෝදනා කළේය.

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (28දා) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් හෙතෙම මේ බව කීය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවැසීය.

අපි සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් හඬ නැඟුවේ මීට වසරකට කලින්. පාර්ලිමේන්තුවේදීත් ඒ ගැන කිව්වා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවෙලා කිව්වා. එතුමා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවලා කමිටුවක් පවා පත් කළා. වර්තමාන ජනාධිපතිතුමා අගමැති වීමෙන් පසුව අපි දන්නෙවත් නැතිව ඒ වැඩපිළිවෙළවල් වෙනස් වුණා.

පසුගිය ගෝඨාභය රාජපක්ෂ ජනපති ප්‍රමුඛ ආණ්ඩුවේ පිරිස් හමුවෙලා එයට අදාළ යෝජනා දුන්නා වගේම වත්මන් ආණ්ඩුවටත් මේ යෝජනා භාර දෙනවා. පාර්ලිමේන්තුවේ සිටින සියලුදෙනා සර්ව පාක්ෂික සමුළුවේ නියෝජිනයන් ලෙස එක්විය යුතුයි.

රටේ තියෙන ආර්ථික ප්‍රශ්න එක්ක ඇමැති මණ්ඩලය 15කට හෝ 20කට සීමා විය යුතුයි. අපි යෝජනා කරන්නේ නම් ඇමැති මණ්ඩලය 15 දෙනකුගෙන් සමන්විත විය යුතුයි කියලා.

වර්තමාන ජනාධිපතිතුමා පත් වීමෙන් පසුව අපිට පෙනී ගියා කලින් පැවැති ඇමැති මණ්ඩලයම යළි සක්‍රිය කළා. අපි බලාපොරොත්තු වූ සර්ව පාක්ෂික ආණ්ඩුවක සැලැස්ම හෝ එහි ඡායාවක් හෝ මේ වෙද්දී පොනෙන්නට නැහැ. අපි පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයෙක් තෝරා පත් කර ගන්න කලින් ඒ අපේක්ෂකයෝ අපිව හමු වුණා. අපිත් ඔවුන්ව හමු වුණා. අපි ඔවුන්ගෙන් ඇහුවේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව ගැන සහ 19 වැනි සංශෝධනය යළි බලාත්මක කිරීම සම්බන්ධයෙන්. ඒ සෑම කෙනෙක්ම දුන්න පිළිතුර තමයි එවැනි කටයුතු කරනවා කියලා.

පසුගිය දවස් කිහිපය ගත්තාම, කොළඹ නගරය ගත්තාම තෙල් පෝලිම් තව තවත් දිගු වෙලා තියෙනවා මිසක් අඩුවෙලා නැහැ. ආහාර, ඔෟෂධ ඇතුළු සියලු දේවලින් ජනතාව ආර්ථික වශයෙන් පීඩනයට ලක්වෙලා. වර්තමාන ආණ්ඩුව කොයි පැත්තටද යන්නේ කියලා අපිට තාමත් පෙනෙන්නට නැහැ.

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රි කණ්ඩායම විධියට අපි හදිසි නීතියට පක්ෂව ඡන්දය දුන්නේ නැහැ. එයට හේතුව අපි ආණ්ඩුවට, ජනාධිපති අපේක්ෂකවරුන්ට යෝජනා කරලා  අපිත් එකඟ වුණු විධියට ආණ්ඩුව ගමන් කරන බවක් පේන්න නැහැ. එහෙම පේනවා නම් තමයි අපිට ආණ්ඩුවට සහාය දෙන්න පුළුවන්කමක් තියෙන්නේ. හිටපු ඇමැතිවරයෙක් අපිත් එක්කම හිටිය අයෙක්. දැන් ඔහුට ඇමැතිකමක් නැහැ. ඔහු ආණ්ඩුවට සම්බන්ධ වුණා. පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී ඔහු විසින්ම ප්‍රකාශ කළා ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය එක්වෙනවා නම් එක්විය යුත්තේ වචනයේ පරිසමාප්තාර්ථයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවකට පමණයි කියලා. ඒ වචනෙත් නැතිව එතුමා ආණ්ඩුවට එක්වුණ ඇමැති ධුරයක් සඳහා. අද ඇමැති ධුර සඳහා එකතු වෙන අය ආණ්ඩුවෙන් ඒවා බලාපොරොත්තු වෙන අය තවත් රාශියක් පාර්ලිමේන්තුවේ ඉන්නවා.

ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් මාධ්‍ය ආයතනයක සාකච්ඡාවකට ගිහිල්ලා හදිසි නීතියට ඡන්දය දෙන්නේ නැතිවව ඉන්නවා නම් ඒ අය රනිල් වික්‍රමසිංහට ඡන්දය දුන්නා කියලා හිතනවා කියලා කිව්වා. මම පැහැදිලිව කියන්න ඕනේ ඒ චෝදනා සියල්ල

ප්‍රති¿ෂේප කරනවා.

මේ සර්ව පාක්ෂික සමුළුව තුළ අපි අන්තර්කාලීන ආණ්ඩුවක් යෝජනා කළා. ඒ සර්වකාලීන ආණ්ඩුව අපි යෝජනා කළේ මාස හයකට හෝ උපරිම අවුරුද්දකට. මේ අර්බුදය ඇතුළු ප්‍රශ්න යම් ප්‍රමාණයකට විසඳුණු වහාම මැතිවරණයකට යා යුතුයි.

අන්තර්කාලීන ආණ්ඩුවක් අපි යෝජනා කළේ යම් කිසි කාල සීමාවක් තුළ මේ කියන ප්‍රශ්න ටික අනිවාර්යයෙන් විස¼දාගත යුතුම නිසා. එම අර්බුද කළමනාකරණය කරගෙන ආර්ථික, සමාජ, දේශපාලන කරුණ සම්බන්ධයෙන් ප්‍රතිසංවිධානයක් ඇති කර ගැනීමට විශේෂ වැඩසටහනක් සකස් කර ගත යුතුයි.

අරගලකරුවන් මර්දනය කිරීම තදින් කෙරුණොත් ඒ සඳහා තද ක්‍රියාමාර්ග ගත්තොත් තව තවත් මේ අරගලයට සම්බන්ධ වෙන පිරිස වැඩිවෙයි කියලා අපි අනුමාන කරනවා.

ආණ්ඩුවක් එක්ක යම්කිසි පිරිසක් හැප්පෙන්න ගියාම ඒ තුළ මර්දනය කරන්න කරන්න පිරිස වැඩි වීම තමා වෙන්නේ. අද රටේ තියෙන ආර්ථික, දේශපාලන සහ සමාජ ප්‍රශ්න එක්ක රට ඉතාම අමාරු තැනකට යනවා. මේ තත්ත්ව එක්ක අපි බලාපොරොත්තු වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්ක සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කරන්න.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්න කාලෙත් සමහරු අපිට පහර ගැහුවා මේ ආණ්ඩුවට පන්දම් අල්ලන්න යනවා කියලා. රනිල් වික්‍රමසිංහ හමුවුණාමත් අපිට ඒ චෝදනා එල්ල කරයි. අපිට ආණ්ඩුව ගැන ප්‍රශ්නයක් නොවේ තියෙන්නේ. අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි. ලෝකයේ මෙවැනි අර්බුද ඇති වුණු අවස්ථාවල සර්ව පාක්ෂික ආණ්ඩු හැදුවා. ඒ ආණ්ඩු අන්තර්කාලීන වශයෙන් නියමයක් ඇති කරගෙන තියෙනවා. ඒ අර්බුද විස¼දා ගත්තාම මැතිවරණයකට යා  යුතුයි කියලා. මේ නියමය සැලකිල්ලට ගත් විට ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය විධියට අපි ඡන්දය පාවිච්චි නොකර හිටියේ අපි මුලින් කියපු දෙවල් නොවේ, මේ වන විට වෙන්නේ කියන කාරණාව නිසයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ආණ්ඩුව හරි හැටි ප්‍රකාශයක් කරලා නැහැ.

කිසිම දේශපාලන මිත්‍රත්වයක් හෝ ආණ්ඩුවට පන්දම් ඇල්ලීමවත්, ආණ්ඩුව ශක්තිමත් කිරීමටවත් අපි ආණ්ඩු පාර්ශ්වය එක්ක සාකච්ඡා කරන්නේ නැහැ. අපේ හිතවත් ආර්ථික විශේෂඥයන් පවා අපිට පැහැදිලි කළේ මේ තියෙන තත්ත්වයෙන් රට ගොඩනඟන්න නම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි කියලා. එහෙම නැත්නම් දිනෙන් දින මේ රට අසීරු අඩියකට පත්වෙනවා කියලා ඔවුන් පෙන්වා දුන්නා.

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ කියලා පක්ෂයේ අනුමැතියක් නැතිව ආණ්ඩුවට එක එක්කෙනා ගිහින් සම්බන්ධ වුණා කියලා අපේ කිසිම පසුතැවිල්ලක් නැහැ. පසුගිය කාලය ගත්තාම 2015 මහා බලවත් ආණ්ඩුවක් තිබ්බේ. රජෙකුගේ බලතල තියෙන 18 වැනි සංශෝධනය සහිත ආණ්ඩුවක් තිබ්බේ. මම පොදු අපේක්ෂකයා  විධියට ඇවිල්ලා. මුළු රාජපක්ෂ පවුලම ගෙදර යැව්වා. මැතිවරණ කොට්ඨාසයක්වත් දිනාගන්න බැරි වුණා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙයි කියලා කවුරුත් හිතුවේ නැහැ. ව්‍යවස්ථාවෙන් එතුමා රටේ ජනපති වුණා. කිසිදු මැතිවරණ ආසනයක්වත් දිනන්නේ නැතිව. හැට නව ලක්ෂයක් ඡන්දේ ගත්ත ගෝඨාභය රාජපක්ෂට පැනලා යන්න සිද්ධ වුණා. පාර්ලිමේන්තුවේ ආසන එකසිය හතළිස් දෙකක් තියෙන පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරු ඇතුළු සියලුදෙනාට තමන්ගේ තනතුරු දාලා යන්න සිද්ධ වුණා. දේශපාලන ලෝකය මේ විධිය තමා.

සවනි ශේශාධි