ශ්‍රී ලංකාවට ලකුණු 246ක දැවැන්ත ජයක්

0
232

ගාල්ල අන්තර්ජා තික ක්‍රිකට් පිටියේ සිට. ශ්‍රී  ලංකාව හා සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර ඊයේ අවසන් වූ දෙවැනි තරගයෙන් ලකුණු 246ක විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලංකා පිල තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-1ක් ලෙස සමකර ගත්තේය.

ලකුණු 508ක වාර්තාගත ඉලක්කයක් පසුපස ගමන් කළ පාකිස්තානුවන් ලකුණු 261කට සීමා කළ ශ්‍රී ලංකා දඟ පන්දු බලඇණිය පස්වැනි දිනය වන ඊයේ තේ පානයට පෙර එනම් පස්වරු 1.41ට පමණ මෙම ජයග්‍රහණයේ පහස විඳගැනීමට සමත් විය.

එහිදී මෙම තරගාවලියේදීම විශිෂ්ටතම පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය පාකිස්තානු දෙවැනි ඉනිමේ ඉක්මන් විනාශකාරයා බවට පත්වෙමින් ලකුණු 117කට කඩුලු 5ක් දවාගත්තේ ටෙස්ට් තරග තුනකට පමණක් සහභාගි වෙමින් කඩුලු 5 බැගින් ලැබූ සිවුවැනි අවස්ථාව මෙය බවට පරිවර්ථනය කරගනිමිනි. ඔහුට අනගි සහයෝගයක් ලබා දුන් රමේෂ් මෙන්ඩිස් පාකිස්තානු පළමු ඉනිමේදී කඩුලු 5ක් හා දෙවැනි ඉනිමේදී කඩුලු 4ක් ලබාගත්තේය.

ඒ අනුව මුළු තරගයේදීම රමේෂ් මෙන්ඩිස් ලකුණු 148කට කඩුලු 9ක් හා ප්‍රභාත් ජයසූරිය ලකුණු 197කට කඩුලු 8ක් ලබාගැනීමද විශේෂත්වයකි. දෙවැනි ඉනිමේදී ශතකයක් ලබා ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කළ ධනංජය ද සිල්වා තරගයේ වීරයා ලෙසත්, මුළු තරගාවලියේදීම ලකුණු 414කට කඩුලු 17ක් ලැබූ ප්‍රභාත් ජයසූරිය තරගාවලියේ වීරයා ලෙසත් සම්මාන ලැබීය.

ලකුණු 508ක අසීරු ඉලක්කයක් පසුපස ගමන් කළ පාකිස්තානුවන් පෙරේදා දිනයේදී එක් කඩුල්ලකට ලකුණු 89ක් ලබා සිටියද තරගය ආරම්භ වී සුළු මොහොතකින් ලකුණු 49ක් ලබා සිටි ඉමාම් උල් හක් ඉක්මනින්ම ක්‍රීඩාගාරයට හරවා යැවූ රමේෂ් ඊයේ දිනයේදී පාකිස්තානයට පළමු ප්‍රහාරය එල්ල කළේය.

ඉන් අනතුරුව නායක බාබර් අසාම් සහ මොහොමඩ් රිෂ්වාන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ස්ථාවර වුවද ලකුණු 37ක් ලබා සිටි රිෂ්වාන්ගේ මැද ඉන්න ගලවා දැමූ ජයසූරිය ඔවුන් අතර වූ ලකුණු 84ක සබඳතාවය බිඳ දැම්මේය. අනතුරුව එක් ලකුණක් ලබා සිටි ෆාවඩ් අලාම් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ශ්‍රී ලංකා පන්දු රකින්නන්ට හැකි විය.

මේ අවස්ථාව වන විට බලවත් පීඩනයකට ලක්ව සිටි පාකිස්තානු පිලේ පස්වැනි කඩුල්ල ලෙස අගා සල්මාන් ලකුණු 4කට දැවී යන විට පාකිස්තානු ලකුණු පුවරුව ලකුණු 188ක් ලෙස දැක්විණි.  පාකිස්තානු දෙවැනි ඉනිමේ එක් අන්තයක් ආරක්‍ෂා කරගනිමින් සිටි බාබර් අසාම් ලකුණු 81ක් ලබා සිටියදී ජයසූරිය හමුවේ දැවී යෑමත් සමඟ පාකිස්තානු පිලේ පරාජය ඉක්මන් විය.  අනතුරුව මොහොමඩ් නවාස් ලකුණු 12කටත්, හසන් අලී ලකුණු 11කට හා නෂීම් ෂා ලකුණු 18කටත් රමේෂ්ගේ ගොදුරු බවට පත්වෙද්දී වේගවත් ඉනිමක නිරත වූ යසීර් ෂා ජයසූරියගේ ගොදුරක් බවට පත්විය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැති මෙම තරගයේ පළමුව ලකුණු රැස්කළ ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 378ක් ලබාගත් අතර, එයට පිළිතුරු සැපයූ පාකිස්තානයට පළමු ඉනිම වෙනුවෙන් ලබාගැනීමට හැකි වූයේ ලකුණු 231ක් පමණි. දෙවැනි ඉනිමේදී කඩුලු 8කට ලකුණු 360ක් ලබා ඉනිම අත්හිටවූ ශ්‍රී ලංකා පිල ලකුණු 508ක ඉලක්කයක් පාකිස්තානුවන්ට ලබා දුන්නේය.

මේ අතර පාකිස්තානු තරගාවලියට පෙර ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි තැන සිටි ශ්‍රී ලංකාව පාකිස්තානය හමුවේ පළමු තරගයේදී ලැබූ පරාජය හේතුවෙන් තෙවැනි තැන අහිමි වුවද ඊයේ අවසන් වූ තරගයේදී ලැබූ ජය හේතුවෙන් නැවතත් තෙවැනි ස්ථානයට (ජයග්‍රහණ ප්‍රතිශතය 53.33%ක් සමඟින්) පැමිණීමට සමත්ව සිටී.

විචිත්‍ර වීරසිංහ