වේරංග අතුරුදන් වී නෑ පොලිස් අත්අඩංගුවේ

0
13

අතුරුදන් යැයි කී රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ඇන්තනී වේරංග පුෂ්පික ද සිල්වා කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

අධිකරණ නියෝග කඩ කරමින් මැයි මස 19 වැනිදා සහ ජුනි මස 9 වැනිදා කොළඹ කොටුව ප්‍රදේශයේදීද, ජුනි මස 10 වැනිදා ඉසුරුපාය, බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදීද උද්ඝෝෂණ පැවැත්වීම, අයුතු ජන රාශියක සාමාජිකයකු වීම, පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම, රජයේ දේපළවලට හානි කිරීම යන චෝදනා සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකට අදාළව අවශ්‍ය කර සිටි සැකකරුවකු ලෙස ඔහු අත්අඩංගුවට ගත්තේ යැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවරුදු 27ක් වූ ගාලු පාර, ‍ෙදාඩන්දුව ලිපිනයේ පදිංචි ඇන්තනී වේරංග පුෂ්පික ද සිල්වා නමැති අයකු බව පොලිසිය පැවැසීය.

සැකකරු කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් වැඩිදුර විමර්ශන කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා නිදහස් මාධ්‍යවේදියකු ලෙසද කටයුතු කර ඇති අතර ඔහුගේ ශිෂ්‍ය භාවය අහෝසිකර ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය පැවැසීය.

සැකකරු ඊයේ (28දා) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මේ සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් වැඩිදුර විමර්ශන කරයි.

තාරක සම්මාන්