වැඩි මිලට ඉන්ධන විකුණූ­ සැකකරු පෑලියගොඩදී STF දැලේ

0
50

බලපත්‍ර නොමැතිව වැඩි මිලට ඉන්ධන විකිණීමේ ජාවාරමේ යෙදී සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බළකාය නිලධාරීන් විසින් පෑලියගොඩදී අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරි නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බළකාය මූලස්ථාන කඳවුරේ සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් නිලධාරියාට ලද බුද්ධි තොරතුරකට අනුව විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.එස්.එච්. පීරිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්  පෙරේදා (27දා) පෑලියගොඩ නවනුගේ පාර අංක  66/01 ස්ථානයේදී මෙම වැටලීම කර ඇත.

එහිදී නීති විරෝධී ලෙස බලපත්‍ර නොමැතිව වැඩි මිලට ඩීසල් ලීටර් 106ක් සහ පෙට්රල් ලීටර් 40ක් විකිණීම සඳහා සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 43 වයසේ පසුවන පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. අත්අඩංගුවට ගත් ඉන්ධනවල දළ වටිනාකම රු 64,640.00ක් පමණ වේ.