වැටත් නියරත් ගොයම කෑම

0
51

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මේ රටට ගෙන්වා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන්ට සහන මිලට ලබා දුන් යූරියා පොහොර මහඔය ප්‍රදේශයේ වෙළෙඳසලක අලෙවි කර ඇති බවට පුවතක් ඊයේ අප ‘මව්බිම’ පත්‍රයේ මුල් පිටුවෙහි විය. කෘෂිකර්ම අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ අනුව මෙම පොහොර ජාවාරමට මහවැලි ගොවි සංවිධානයක්ද සම්බන්ධ වී ඇති බව කියයි. සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වා ජාවාරමට හවුල් වී ඇති පුද්ගලයන්ට තරාතිරම නොබලා නිසි දඬුවම් පැමිණ වීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියයි.

වර්තමානයෙහි මෙරට සමස්ත ජනතාවම දැඩි පීඩනයට පත්කොට තිබෙන ආර්ථික අර්බුදයට පොහොර ගැටලුවද සෘජු බලපෑමක් ඇති කළ බව රහසක් නොවේ. ගැටලුව පැන නැඟුණේ රටට බත සපයන ගොවීන්ට කලට වේලාවට පොහොර ටික සපයන්නට ආණ්ඩුව අසමත් වීම හේතුවෙනි. වර්තමානයේ තෙල් අර්බුදය පිටුපස ඩොලර් හිඟය සෘජුවම බලපාන අයුරු පෙනෙන්නට තිබුණත් එකල පොහොර හිඟය සම්බන්ධව එහෙම කතාවක් කීවේ නැත. ඒ වෙනුවට කරළියට ආවේ ජනාධිපතිගේ රසායනික පොහොර හා රසායනික පළිබෝධනාශක තහනමය. විකල්පයක් වශයෙන් කාබනික පොහොරට ගොවි ජනතාව යොමු කරන වැඩපිළිවෙළක් යෝජනා වූ නමුත් එවැන්නක් ක්‍රියාවට නැඟුණේ නැත. ඉඳහිට ප්‍රදේශ කිහිපයක කාබනික පොහොර නිෂ්පාදනය දිරිගැන්වීමේ අවස්ථා ගැන වාර්තා වුවද එම ක්‍රියාදාමය මේ රටේ පැවැති පොහොර අවශ්‍යතාව ඉටු කරලීමෙහි අසමත් විය.

පොහොර අරගලය පටන් ගත්තේ ඒ තත්ත්වය යටතේය. ආණ්ඩුව පොහොර මාෆියාවක් ගැන කියනු වෙනුවට රසායනික පොහොර භාවිතයේ හානිකර තත්ත්වය ගැන දිගින් දිගටම කරුණු කියන්නට පටන්ගෙන තිබිණි. ඒ අතරේ එහෙන් මෙහෙන් කොහෙන් කොහොමහරි අවශ්‍ය පොහොර ටික ලබා ගන්නට ප්‍රයත්න දැරීමේ ප්‍රතිඵලය වූයේ බරපතළ පොහොර හිඟයකට රට මුහුණදීම හා පොහොරවල මිල ගණන් සාමාන්‍ය ගොවියාට දරාගත නොහැකි පරිදි ඉහළ යෑමය. ඒ අතර පොහොරටද කළු කඩයක් ගොඩනැඟී තිබිණි.

අර්බුදය උත්සන්න වී අස්වනු කපා කොටා ගන්නට සැරසෙන විට පොහොර තහනමේ ප්‍රති විපාක කාට කාටත් අවබෝධ වන්නට පටන්ගෙන තිබිණි. කෘෂිකර්ම අමාත්‍යවරයා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ බැරිම තැනය. පොහොර තහනම වැරදි උපදෙසක් මත තමා ගත් වැරදි පියවරක් බව හිටපු ජනපති ගෝඨාභයද ප්‍රකාශ කළේය. ඔහු එසේ ප්‍රකාශ කරන විටත් පොහොර හිඟයෙන් ජනතාව බරපතළ ගැටලු කන්දරාවකට මුහුණ දෙමින් සිටියේය.

පොහොර අර්බුදයට වගකිවයුතු අය බොහෝ දෙනෙක් දැන් තනතුරුවල නැත. ඒ යුගයේ සිදුවුණු අක්‍රමිකතා ගැන, වංචා ගැන සොයන්නට වැඩපිළිවෙළක්ද නැත. අමාත්‍ය මහින්ද අමරවීර දැන් අනුන් කළ පව් ගොඩකට කර ගසන්න සැරසී සිටී. ජනතාවට කලට වේලාවට අවශ්‍ය පොහොර ටික ලබා දෙන්නට ඔහු ප්‍රතිඥාවක්ද දී තිබේ. අමාත්‍යාංශයේ කටයුතුද වැරැදි හරිගස්සාගෙන යම් ප්‍රමාණයකට නිසි කළමනාකරණයකට ලක් කරන්නට ඔහු පියවර ගෙන තිබේ. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ යූරියා පොහොර ගෙන්වාගෙන බෙදා හරින්නට පියවර ගත්තේ ඒ අනුවය. එහෙත් ‘පුදපු ගමන් කාපි යකා’ කිව්වා වාගේ දැන් සිදුවී තිබෙන්නේ ඒ ගෙනා පොහොර ටිකටත් වැඩේ දෙන්නට පොහොර හොර නඩයක් පෙරමුණ ගෙන සිටීමය.

මහවැලි ගොවි සංවිධානයක් මේ හොරකම පිටුපස සිටින බවට කරුණු හෙළිදරව් වීම උත්ප්‍රාසවත් කාරණයකි. පොහොර ටිකට මිනී මරා ගන්නා තරමට බරපතළ ගැටලු ඇතිවුණු කාලපරිච්ඡේදයක් දැන් පසුකොට තිබේ. ඉන්දියානු ණය යෝජනා ක්‍රමයට අනුව පොහොර ටික ගෙන්වාගෙන තිබෙන්නේ එය මේ රටේ ගොවි ජනතාවට ඉදිරි ගොවිතැන් කටයුතු වෙනුවෙන් අත්‍යවශ්‍ය නිසාමය. වෙන දේවල් මෙන් නොව පොහොර අවශ්‍ය වන්නේ කාලවකවානු අනුවය. පසුගිය දිනවල අස්වනු නෙළද්දී ඇතැම් ප්‍රදේශවලට පොහොර ලැබුණු බවට පුවත් පළ විය. අස්වැන්නත් අසාර්ථක වී කනස්සල්ලෙන් සිටි ගොවීන්ට අකලට පොහොර ලැබුණාට පලක් නැත. එසේ ලැබෙන පොහොර ටික කාට හෝ විකුණා දමනු මිස ඔවුනට එයින් ඇති පලය කුමක්ද? පොහොර කල් තබා ගත හැකි නමුත් එදිනෙදා ණය තුරුස් වී ගොවිතැන් කටයුතුවල යෙදෙන ජනතාවට අතමිට මුදල් ගැවසීම වඩාත් ප්‍රයෝජනවත් බව ඔවුහු කියති. වර්තමාන ගොවි ජනතාවට පමණක් නොව මේ රටේ සමස්ත ජනතාවටම දෛනික ජීවිතය ගෙවා ගැනීම යුගයේ දුෂ්කරම කාර්යය වී තිබේ.

මෑත ඉතිහාසයේ හැම ආණ්ඩුවක්ම බලයට ආවේ සොරකම්, දූෂණ, නාස්ති කිරීම්වලින් රට මුදාගෙන රටට යම් සමෘද්ධියක් සෞභාග්‍යයක් උදාකරන්නට දහසක් පොරොන්දු ජනතාව හමුවේ තබමිනි. එහෙත් කාට කාටත් බලය තහවුරු කරගත් පසුව ඒ කියපු කතන්දර, වුණු පොරොන්දු සියල්ල අමතක වෙයි. ගොවිතැන් කටයුතු නඟා සිටුවීම අරමුණු කරගත් රාජ්‍ය ආයතන රැසක් මේ රටේ ක්‍රියාත්මකය. එයින් වැඩි ප්‍රමාණයක් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ අධීක්ෂණය වෙයි. ගොවිජන සේවා මධ්‍යස්ථාන පිහිටුවා ඇත්තේද මේ රටේ ගොවි ජනතාවට යම් උපකාර සැලසීමටය. ගොවිජන මධ්‍යස්ථානයකට ලැබුණු පොහොර ටිකෙන් කොටසක් ගොවි සංවිධානයක් වෙත හොර පාරෙන් යන්නට නම් යම් යම් ක්‍රමෝපාය ක්‍රියාත්මක විය යුතුය. මෙවැනි වංචනික කටයුතුවලට සෘජුව හෝ වක්‍රව ආධාර අනුබල දෙමින් අයුතු වාසි ලබා ගැනීමට හුරු පුරුදුව සිටින රාජ්‍ය නිලධාරීහු වෙති. වර්තමාන තෙල් අර්බුදය පිටුපසද මාෆියාවක් ක්‍රියාත්මක බව මීට පෙර අපි අවධාරණය කළෙමු. අතිශය දුෂ්කර කාලපරිච්ඡේදයක රට ගොඩගන්නට කවුරු කවුරුත් ඇප කැපවී සිටින මොහොතක පොහොර ටිකටත් විදින්නට සැරසෙන මාෆියාවක් බිහිවේ නම් මේ රටේ සංවර්ධනය ගැන කවර කතාද?

පහන් කණුව පාමුල බොහෝ දුරට අඳුරු විය හැකිය. මුලින්ම ඒ අඳුර මකාලිය යුතුව තිබේ. වංචාවක් සිදුවූ පසු ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමට කල් ගත කිරීමට වඩා වංචාවට ඉඩ නොතැබීම වඩාත් වැදගත්ය. ඒ සම්බන්ධව අමාත්‍යවරයාගේත් සෙසු බලධරයන්ගේත් දැඩි අවධානය යොමු විය යුතුමය.