වාලච්චේනෙන් ඩීසල් ලීටර් 1,800ක් කාත්තන්කුඩි ගෙනියන්න හදලා

0
17

වාලච්චේන ධීවර වරාය ඉන්ධන පිරවුම්හලෙන් ලබාගත් ඩීසල් ලීටර් 1,800ක ප්‍රමාණයක් ලොරි රථයකින් සහ වෑන් රථයකින් කාත්තන්කුඩිය දක්වා  ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබියදී ඊයේ (28දා) අලුයම 1.00ට පමණ එම ලොරි රථය සමඟ සැකකරුවන් හත්දෙනකු අත්අඩංගුවට ගත් බව වාලච්චේන පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්මුණේ සහ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බව වාලච්චේන වැඩබලන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අර්.එම්. කුමාරසිංහ මහතා පැවැසීය. අත්අඩංගුවට ගත් ඩීසල් 1800 ප්‍රමාණය බූලි දහඅටකට ඇසුරුම් කර වෑන් රථයේද, තවත් බූලි විසිඑකකට ඇසුරුම් කර ඒවා ලොරියකටද ඉතා සූක්ෂ්ම ලෙස පටවා තිබූ බව වාලච්චේන පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතැතිව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ලද ලියවිල්ලක්ද තිබී ඇත. සැකකරුවන් පවසා ඇත්තේ ධීවර අමාත්‍යවරයාගේ උපදෙස්  මත එම ඩීසල් තොගය ඔලුවිල් ධීවර වරායේ ඉදිකිරීමක් සඳහා රැගෙන යෑමට සූදානම් කරගගත් ඒවා බවයි.

අත්අඩංගුටගත් මෙම ඩීසල් ප්‍රවාහනය කිරීම සඳහා ඔවුන්ට බලපත්‍රයක් නොතිබූ  අතර මෙය වැඩි මිලට විකිණීම සඳහා රැගෙන යෑමට සූදානම් කර තිබූ ඒවාද  යන්න පොලිසිය සැක පළ කරයි.

පුද්ගලයකුගෙන් ලද තොරතුරක් අනුව  අත්අඩංගුවට ගත් මෙම ඩීසල් තොගය අලුයම් කාලයේ ප්‍රවාහනය කිරීමට  සූදානම් කර තිබූ ඒවා බවද පොලිසිය කියයි.

වාලච්චේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි වැඩබලන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.එම්. කුමාරසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම මෙහෙයුම කළහ.

අත්අඩංගුවටගත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරිම් කරන බවද වාලච්චේන පොලිසිය කියයි.

මනම්පිටිය _ නිමල් ජයරත්න