වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකරන අයගේ දඩ මුදල ලක්ෂයක් කරන්න

0
11

දේශපාලකයන් සහ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන රාජ්‍ය නිලධාරීන් වත්කම් බැරකම් ප්‍රකාශ දීමෙන් වැළකී සිට හිතූ හැටියට රාජ්‍ය ධනය හොරා කන බවට මහජන මතයක් මේ වනවිටත් ගොඩනැඟී ඇති බැවින් වත්කම් බැරකම් ප්‍රකාශ නොදෙන පුද්ගලයන්ට දඩ මුදල් නියම කිරීමේදී දැනට නියමිත රුපියල් දහසේ දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා වැඩි කිරීමට අවධානය යොමු කරන ලෙස මාතලේ දිස්ත්‍රික් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක රොහාන් ජයරත්න යෝජනා කරයි.

එසේ දඩ මුදල් වැඩි කිරීමෙන් පසුව රජයේ හෝ මහජනතාවගේ මුදල් හොරා ගන්නා පුද්ගලයන් අවම කර ගැනීමට හැකිවනු ඇතැයි හෙතෙම විශ්වාසය පළ කර සිටී.

රට තුළ නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්ත්වයට හේතු සාධක වී ඇත්තේ දේශපාලකයන් හොරා කා ඇති නිසා බවට ජනතාව අතර මතයක් පවතින බැවින් ඒ පිළිබඳව අප කළ විමසීමේදී රොහාන් ජයරත්න මහතා එසේ පැවැසීය.

අද වනවිට විද්වතුන් පවසන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වෙන්න පින්කර තිබෙනවාට වඩා ශ්‍රී  ලංකාවේ ප්‍රාදේශීය සභාවක මන්ත්‍රිවරයකු වීමට පින් කර තිබිය යුතු බව යැයි කී ජයරත්න මහතා මෙයින් අදහස් වන්නේ කුමක්ද යන්න අපේ රටේ ජනතාව කල්පනාවට ගැනීම කාලීන අවශ්‍යතාවක් බවද වැඩිදුරටත් පවසා සිටියේය.

පල්ලේපොළ – ජේ. පත්මසිරි