ලොකු කැබිනට් මණ්ඩල පත්කර දේශපාලන ගේම් නොගසා ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න

0
39

විශාල කැබිනට් මණ්ඩල පත්කර දේශපාලන ගේම් ගැසීම නොව, මේ මොහොතේ  කළයුතු ප්‍රධාන කාරණාව මහජනතාව මුහුණ දෙන සමාජ, ආර්ථික ප්‍රශ්න සඳහා විසඳුම් දීම යැයි ශ්‍රී  ලංකා නිදහස් පක්‍ෂයේ ජේ‍යෂ්ඨ උප සභාපති ජේ‍යෂ්ඨ මහචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මාධ්‍ය හමුවේ 26දා සඳහන් කළේය.

ඇමැති මණ්ඩලය සියයක් පමණ පත්කර ඇමැති නියෝජ්‍ය ඇමැති, උප ඇමැති, සම්බන්ධීකරණ ඇමැති ආදී වශයෙන් සම්බන්ධ කරගෙන රටේ  තිබෙන මුදල් ඒ අය වෙනුවෙන් වෙන්කර කෘත්‍රිමව පවත්වාගෙන යෑම යථාවත් නොවන බවත්, මහජනතාවට අද අවශ්‍ය වන්නේ අඩු මිලට සහල්, ආහාර, ගෑස් හා සේවාවන් ලබාදීමයි. ඉදිරියේදී විදුලි බිලත් ඉහළ යෑමට නියමිතයි. ඒ නිසා මේවා සඳහා යම් සහනයක් ලබානොදී ඒ වෙනුවට මැති ඇමැතිකම් ඇතුළු පහසුකම් වර්ධනය කර ගතහොත් තවත් වතාවක් ජනතාවගේ උද්ඝෝෂණයන් ඇතිවිය හැකි බවත් ඒ සඳහා පූර්වාදර්ශයක් පෙන්වා දී තිබෙන බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

කවුරු හෝ චෝදනා කරන්න පුළුවන් අරක කැඩුවා, මේක කැඩුවා කියලා. ඉතිහාසයේ ආපසු හැරී බැලුවොත් කවුද රජගෙදර තිබුණු චිත්‍ර ජාත්‍යන්තර වෙන්දේසිවල විකිණුවේ. ජනතාව නොවෙයි. ඒ කාලයේ සිටි ප්‍රභූවරුන් හා රාජ්‍ය පාලනයට සම්බන්ධ හිතවතුන්. ඔවුන් ලෝක ප්‍රසිද්ධ චිත්‍ර මිලියන ගාණකට විකිණුවා. මේවා ගැනයි සෙවිය යුත්තේ. පුටුවක්, මේසයක්, ටැප් එකක් කඩා බිඳ දැමුව එක ගැන නොවෙයි.

රටේ ප්‍රශ්න ජනතාව ජනාධිපති මන්දිරයට කඩා වැදීම දක්වා උග්‍ර කිරීම නොකළ යුතුයි. එහි සමාජ විද්‍යාත්මක කාරණාව ගැන කතා නොකර එහි ඇති අතුරු කාරණා ගැන කතා කිරීම ඵලදායි එකක් නොවේ.

සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම කතිකාවක් මාධ්‍යවල පළ වූවාට පක්‍ෂවලට තවම ආරාධනා කර නැහැ. ශ්‍රී  ලංකා නිදහස් පක්‍ෂයට දන්වා නැහැ. මේ ආණ්ඩුව පෙරළන්න විනාශ කරන්න අපි කැමැති නැහැ. සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් ගැන ආරාධනා කළහොත් ඒ සඳහා සාකච්ඡා කළ හැකියි. එහිදී එකඟතාව තිබුණේ කුඩා කැබිනට්ටුවක් සම්බන්ධවයි.

රටේ ප්‍රශ්න සඳහා නිශ්චිත කාල සීමාවකට විසඳුම්දී වහාම ජනමතයක් විමසීම සඳහා මහ මැතිවරණයකට යායුතුයි. මේ වන විට පාර්ලිමේන්තුවට ජන වරමක් නැහැ. එය කෘත්‍රිමයි. ප්‍රායෝගික යථාර්ථවාදී එකක් නොවෙයි.

මහනුවර – හේරත් ඒකනායක