රියැදුරන් සේවයට වාර්තා කර නැහැ මහනුවර දුම්රිය වාර 22ක් අවලංගුයි

0
35

මහනුවර දුම්රිය ස්ථානයේ රියැදුරු මහතුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් දුම්රිය ගමන් වාර විසිදෙකක් නතර කර දමා තිබේ.

සේවය සඳහා පැමිණීමට ප්‍රවාහන අපහසුතා ඇති බැවින් දුම්රිය රියැදුරන් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම මත මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි මහනුවර දුම්රිය ස්ථානයේ ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති ආර්.එම්. රත්නායක මහතා පවසයි.

ඒ අනුව ඉකුත් විසිපස් වැනි සඳුදා පස්වරුවේ සිට කඩින්කඩ මහනුවරින් ආරම්භ වන දුම්රිය ගමන් වාර කිහිපයක්ම අවලංගු කිරීමට සිදුවූ බවද හෙතෙම කීය. මහනුවර – මාතලේ අතර දුම්රිය ගමන් වාර දහයක් ද මහනුවර – පොල්ගහවෙල අතර දුම්රිය ගමන් වාර හතරක් සහ මහනුවර – නාවලපිටිය අතර දුම්රිය ගමන් වාර අටක් ඊයේ (28දා) සිට දින නියමයක් නැතිව අවලංගු කිරීමට සිදුව තිබෙන බවද රත්නායක මහතා කීය.

මෙම දුම්රිය ගමන් වාර අවලංගු කිරීම හේතුවෙන් පාසල් දරුවන්ට ගුරුවරුන්ට සහ සෙසු රාජකාරි කාර්ය මණ්ඩල වෙත දැඩි අපහසුතාවකට පත්වීමට සිදුව ඇති බවද හෙතෙම කීය.

මහනුවර – කේ.එල්. සුරවීර