රඹුටන් ගෙඩියක රස විඳගන්නට ආසා හිතුණද පොඩි සාදූ රඹුටන් ඇටයක් හිරවෙයි කියලා හිතුවද නැහැනේ පොඩි සාදූ

0
133

සසර සයුරින් එතෙර වනු වස් චීරවරයක් දරාගෙන සසුනට පිළිපන් සාමණේර හිමිනමක් ඇසූ දුටුවන්ගේ සිත් කම්පාකරවමින් දිවියෙන් සමුගැනීමේ දුක්මුසු පුවතක් කටුබැද්ද, සොයිසාරාම පුරාණ විහාරස්ථානයෙන් ඇසෙන්නට ලැබිණි. රඹුටන් ඇටයක සැඟව සිටි මරුවාගේ ග්‍රහණයට බුලත්ගම සිරි සුභූති සාමණේර හිමිපාණෝ හසුවූයේ කිසිවකු තුන් සිතකින්වත් නොසතූ අයුරිනි. උන්වහන්සේ පැවිදි වී වසර තුනක් පමණ ගතවී ඇති අතර අපවත් වන විට රත්මලාන මල්ලිකාරාම මහ පිරිවෙනෙහි ධර්ම ශාස්ත්‍ර ඥානය ලබමින් පසු වී ඇත.

උන්වහන්සේගේ වැඩිමහල් සොහොයුරුද එම විහාරස්ථානයේම පැවිදි වී සිටියි. ඉකුත් 26 වැනිදා සිරි සුභූති හිමියන් වෙත ලැබුණු ඉදුණු රඹුටන් ගෙඩියක් කටේ දමාගත් අවස්ථාවේ එය ගිලී උගුරේ සිරවීමෙන් මෙම අනතුරට ලක්ව තිබේ.

ඒ අවස්ථාවේ පන්සලේ සිටි පිරිස් විසින් සාමණේර හිමියන්් කළුබෝවිල රෝහලට වහා ඇතුළු කර ඇති අතර, වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසක් දැරුවත් උන්වහන්සේ පසුදා (27දා) අලුයම් කාලයේ, රෝහල් දැඩි සත්කාර ඒකකයේදී දිවිය අත්හැර ගියහ.

රෝහල්ගත කළ සාමණේර හිමියන්ගේ ජීවිතය බේරාගන්නට වෛද්‍යවරුන් දැඩි උත්සාහයක් ගෙන ඇතත් ඒ සියල්ල වූ බව රෝහල් කාර්ය මණ්ඩලය පවසති.

රත්මලාන මල්ලිකාරාම මහ පිරිවෙනෙහි පරිවේණාධිපති බැරගම විමලධම්ම නාහිමියන් කියා සිටියේ සිරි විභූති සාමණේර හිමියන් සම්බුදු සසුන බබලවන මහ තෙර නමක වීමේ පෙර නිමිති පහළ කරමින් සිටි බවය.

බළංගොඩ, බුලත්ගම, අලුතගෙදර පදිංචි ශ්‍රී  ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ සිවිල් කාර්ය මණ්ඩල සේවකයකු වන එම්.ඩබ්ලිව්. විජේකෝන් සහ ගයනා උදයකුමාරිගේ තෙවැනි පුතු ලෙස උපත ලද ඩබ්ලිව්. දුමිදු නිම්සර බුලත්ගම කනිටු විදුහලේ අධ්‍යාපනය ලබන සමයේදී පැවිදි වන්නට මවුපිය අවසර පතා ඇත. ඒ අනුව සත් වසර පිරුණු පසු 2019 සැප්තැම්බර් 29 වැනිදා පැවිදි දිවියට ඇතුළත් වී තිබේ. ඒ අමරපුර මහ නිකායේ අමරපුර පාර්ශ්වයේ අනුනායක ‍ෙදාඩම්පහල සිරි සුගුණ නාහිමියන්ගේ පැවිදි ශිෂ්‍යයකු ලෙසිනි.

මෙම සිද්ධිය ඇසින් දුටු බුද්ධික හෙට්ටිආරච්චි මහතා තමන් දුටු දේ මෙසේ විස්තර කළේය.

“මම සොයිසාරාමයේ ධර්මශාලාවේ වැඩසටහනක හිටියේ. පොඩ්ඩකට එළියට එද්දි ප්‍රධාන ‍ෙදාරටුව ළඟ පොඩි හාමුදුරු නමක් ෆිට් එක හැදිලා වගේ අමාරුවෙන් හුස්ම අල්ලනවා දැක්කා. මාත් සමඟ සිටි අනෙක් අයියාත්, මමත් වැටෙන්න ගිය පොඩි හාමුදුරුවෝ අල්ල ගත්තා. උන් වහන්සේ කතා කළේ නෑ. හාමුදුරුවන්ට අමාරු වගේ පෙනුණා. මිට මොළවන් හිටි අත දිග ඇරලා බැලුවම රඹුටන් ඇටයක් තිබුණා.

අපි හිතුවේ රඹුටන් ඇටයක් හිරවෙලා වෙන්න ඇති කියලා. මම හාමුදුරුවෝ උස්සගත්තා. කෑගහලා කට්ටිය කතා කරගෙන ප්‍රථමාධාර දුන්නා. ඒ වෙලාවේ පන්සලේ හිටි මන්ත්‍රිවරයකුගේ වාහනයකින් ඉක්මනට රෝහලට අරන් ගියා. හාමුදුරුවෝ අමාරුවෙන්ලු හිටියේ. වාහනයේදී නහයෙන් ලේ ගියාලු. සිහි නැති වුණාලු.

ලොකු හාමුදුරුවෝ රෝහලට ගිහින් ඇවිත් කිව්වා රඹුටන් ඇටය ගත්තා. දැන් අයි.සී.යූ. එකේ කියලා. ඒත් පසුවදා උන්වහන්සේ අපවත් වෙලා.”

විනීතා එම්. ගමගේ