රත්රන් හා වාලම්පුරියක් ඉන්දියාවට ගෙන යමින් සිටි තිදෙනාට මාංචු

0
30

මන්නාරම, පේසාලෙයි කුරුසපාඩු මුහුදු තීරයේදී සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුතු රත්රන් ග්‍රෑම් 470ක් සහ දුර්ලභ වාලම්පූරියක් රැගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

උතුරු මැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් 26දා කුරුසපාඩු මුහුදු ප්‍රදේශයේදී සිදුකරන ලද හදිසි සෝදිසියකදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය වීමෙන් අනතුරුව අදාළ ඩිංගි යාත්‍රාව පසුපස හඹා ගොස් සිදුකරන ලද පරීක්ෂාවකදී මෙම රත්රන් සහ වාලම්පූරිය සොයා ගනු ලැබීය.

රත්රන් ග්‍රෑම් 470ක් අඩංගු බාර් එකක් සහ කුඩා වර්ගයේ දුර්ලභ වාලම්පූරියක් ඩිංගි යාත්‍රාව තුළ සඟවා තිබියදී සොයාගනු ලැබූ අතර එම රත්රන් සහ වාලම්පූරිය මන්නාරම, පේසාලෙයි සිට ඉන්දියාව දක්වා රැගෙන ගොස් විකිණීමට සැලසුම් කොට තිබූ බවට අනාවරණය වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 24 සහ 39 වයස්වල පසුවන පුත්තලම සහ පේසාලෙයි පදිංචිකරුවන් වන අතර රත්රන් සමඟ වාලම්පූරිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙතට භාරදීමට පියවර ගත් බව නාවික හමුදාව වැඩිදුරටත් පැවැසීය.

මුලතිව් – ශෂි කුමාර්