යුරෝපා රටවල රැකියා දෙනවා කියා රුපියල් ලක්ෂ 12ක් වංචා කරලා

0
298

දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ට යුරෝපා රටවල රැකියා ලබාදෙන බව සඳහන් කරමින් රවටා රුපියල් ලක්ෂ 12කට අධික මුදලක් වංචාකොට නඩු කටයුතු පවතිද්දී අධිකරණය මඟහැර ඩුබායි රාජ්‍යයට පලාගොස් සිට දිවයිනට පැමිණෙමින් සිටි පුද්ගලයකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

සැකකරු 2007 වර්ෂයේ සිට අවස්ථා කිහිපයකදී දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ට යුරෝපා ඇතුළු විදෙස් රටවල රැකියා ලබාදෙන බව සඳහන් කරමින් රුපියල් ලක්ෂ 12කට ආසන්න මුදලක් වංචාකොට ඇතැයි පොලිසිය කීය.

 ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සැකකරුට එරෙහිව චෝදනා නඟා අධිකරණයේ නඩු විභාග වන අතරතුර 2019 වර්ෂයේදී මාස දෙකක සංචාරයකට බව පවසා ඩුබායි රාජ්‍යයට ගොස් ඔහු එහි  රැකියාවක නියැළී සිට ඇතැයි පැවැසේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු නිරීක්ෂණය කළ පොලිසිය සැකකරු ඉකුත් 26දා දිවයිනට පැමිණෙන බවට ලද තොරතුරක් අනුව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ගේද සහායෙන් අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසුවේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, අළුබෝමුල්ල ප්‍රදේශයේ පුද්ගලයකුයි.

අධිකරණය මඟහැරීමේ චෝදනාව මත සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

පානදුර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් පරිදි විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.එන්.එස්. කස්තුරිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක  එන්.එස්. පෙරේරා, සැරයන්වරුන් වන කේ.ඒ. සමන් පුෂ්පකුමාර (40354) සහ බණ්ඩාර (60356) යන නිලධාරීහු වැටලීමට එක්වූහ.

පොතුපිටිය – සුමිත් රණවක