මහනුවර ප්‍රධාන ආපනශාලා හා සුපිරි වෙළෙඳසල්වල ජරා කෑම

0
33

මහනුවර නගරික සෞඛ්‍ය වෛද්‍ය ඒකකය මඟින් සිදුකළ හදිසි පරික්ෂාවකදී මහනුවර නගරයේ ප්‍රධාන පෙළේ ආපන ශාලා හා සුපිරි වෙළෙඳසල්වල තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය කිලෝ 500ක පමණ ප්‍රමාණයක් 28 වැනිදා එම ඒකකය භාරයට ගෙන තිබේ.

වඩාත් සුරක්ෂිත ආහාර ලබාදෙන බවට නගර සභාවේ සෞඛ්‍ය ඒකකය මඟින් මෙයට වසර පහකට පමණ ඉහතදී ඒ ශේ‍ර්ණියේ සහතිකය ලබාගත් ආපනා ශාලා කිහිපයකින්ම නරක් වූ ආහාර ද්‍රව්‍ය හමුවී ඇත.

මෙම සෑම ආපනශාලාවකම මිනිස් පරිභෝජනයට නුසුදුසු මස්, මාළු, පාන්, බනිස්, බිත්තර රොටී, අල, ලුණු, රසකාරක ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් තිබූ බවත් මහනුවර නාගරික ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් පැරකුම් ජයසිංහ මහතා පැවැසීය.

මහනුවර ඇසළ පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාවට සෞඛ්‍යාරක්ෂිත ආහාර ලබාදීම අරමුණු කර ගනිමින් අදාළ වැටලීම් පෙරහර මංගල්‍ය අවසන් වනතෙක් අඛණ්ඩව සිදු කරන බවද ඒ මහතා කීය. මහනුවර මහ නගර සීමාවේ ඇති අහාර අලෙවි කරන සියලුම ස්ථානවල මුළුතැන්ගේ හා ගබඩා පරික්ෂාවට ලක් කිරීමට නාගරික සෞඛ්‍ය වෛද්‍ය ඒකකය සැලසුම් කර තිබේ.

මහනුවර ඇසළ පෙරහර නැරඹීම සඳහා  වසර දෙකක කාලයක් මහජනතාවට අවස්ථාව නොලැබුණු බැවින් මෙවර දිවයිනේ නන් දෙසින් අති විශාල පිරිසක් මහනුවරට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔවුන් බහුතරයක් ආහාර ද්‍රව්‍ය ලබා ගන්නේ නගරයේ ආපනශාලාවලින් බවත් වෛද්‍ය ජයසිංහ මහතා පැවැසීය.

මෙම වැටලීම සඳහා නාගරික ප්‍රධාන වෛද්‍යවරයා සමඟ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු 20 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සහභාගි වූහ.

අදාළ ආපනශාලා හා සුපිරි වෙළෙඳසල්වලට එරෙහිව නඩු පැවැරීමක් නොකර දැඩි ලෙස අවවාද කළ බවත් ඊළඟ අවස්ථාවේ වරදක් අසුවුව හොත් නඩු පැවැරීමට කටයුතු කරන බවත් නාගරික ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවැසුවේය.

මහනුවර – කේ.එල්. සුරවීර