බරණ ඇතාගේ මරණය විදුලි සැර වද්දා කළ ඝාතනයක්

0
224

කලාවැව ජාතික උද්‍යානයේ විසූ ඉකුත් 26 වැනිදා මියගිය බරණ හස්තියාගේ මරණය විදුලි සැර යොදා කළ ඝාතනයක් බව ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ පවසයි.

ගල්කිරියාගම, උල්පතගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමකට යාබදව ජාතික නාමල් උයන රක්ෂිතයේ තිබී බරණ හස්තියාගේ මළ සිරුර ඉකුත් 26 වැනිදා ගල්කිරියාගම වනජීවී නිලධාරීන් විසින් සොයා ගෙන තිබිණි. අවුරුදු 35ක් පමණ වයසැති අඩි 09ක් උසැති බරණ අඩි 04කට වැඩි දිගකින් යුත් පිරිපුන් දළ යුගලයකටද හිමිකම් කීය.

අබිරහස් ලෙස මියගොස් සිටි බරණ හස්තියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (27දා) පස්වරුවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ කලාපයේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ විසින් පවත්වනු ලැබීය.

කලාවැව භාම්භීරත්වය ලෙස සැලකූ බරණ හස්තියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පෙර හස්තියාට පින් පතා මතක වස්ත්‍ර පූජාවක් මෙන්ම පැන් වැඩීමක්ද සිදුකර මහ සංඝරත්නය වෙත අටපිරිකර පූජාවක්ද පවත්වා ආගමික වතාවත් ඉටුකිරීමටද ගල්කිරියාගම වනසත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීහු කටයුතු කළහ. එම ආගමික වතාවත් සිදුකරනු ලැබූයේ ගල්කිරියාගම ජාතික නාමල් උයන නිර්මාතෘ ජූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින්ය. එම අවස්ථාවට ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිවරයා ඇතුළු විශාල පිරිසක්ද එක්ව සිටිනු දක්නට ලැබිණි. එම ආගමික වතාවත්වලින් පසුව පස්වරුවේ බරණ හස්තියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ආරම්භ විය. පැය කිහිපයක් පුරා පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී පශු වෛද්‍යවරයා එම සිරුර විච්ඡේදනය කර අභ්‍යන්තර සිරුරු කොටස් පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කරනු ලැබීය.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව එම මරණ පරීක්ෂණය පැවැත්වූ වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේගෙන් මාධ්‍ය කළ විමසීමේදී ඔහු කියා කියා සිටියේ විදුලි සැර වැදීමක් හස්තියාගේ මරණයට හේතු වී ඇති බවය.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව බරණ හස්තියාගේ දළ යුගලය සහිත හිස කොටස ගල්කිරියාගම වනසත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලය භාරයට ගනු ලැබීය. බරණගේ දළ යුගලය වට අඩි එකකට වැඩි වූ අතර එළියට පෙනෙන කොටසේ දිග අඩි හතරකට අධික විය. බරණගේ හිසසුන් ශරීරය එම ස්ථානයේදීම මිහිදන් කෙරිණි. සිරුර මිහිදන් කරන අවස්ථාවේදී එහි සිටි පිරිස් මවිත කරමින් මිය ගිය බරණ සමඟ ඔහුගේ ආරක්ෂාවට නිරන්තරයෙන් සැරිසැරූ බව කියන තවත් වන අලියකුද බරණට අවසන් ගෞරව දැක්වීම සදහා එම ස්ථානයට පැමිණීමට උත්සාහ ගන්නා අයුරුද එහිදී අප කැමරාවේ සටහන්විය.

 පෞද්ගලික ඉඩමකට යාබදව පිහිටි ජාතික නාමල් උයන රක්ෂිතයේ විවෘත බිම් කොටසක් තුළදී බරණ මියගොස් සිටි අතර ඒ අසල වූ ගස් යොදා ගනිමින් ඉදිකර තිබූ අනවසර විදුලි රැහැනක් ඉදිකර තිබී ඇති බවද වනජීවී නිලධාරීන් විසින් සොයා ගනු ලැබිණි. එසේම එම විදුලි වැටට යොදා තිබූ බවට සැලකෙන විදුලි කම්බි තොගයක්ද එම ස්ථානයට යාබද වගාබිමක තිබූ අනාරක්ෂිත වගා ළිඳක වතුරේ ගිල්වා සඟවා තිබියදී සොයා ගැනීමට විමර්ශන කටයුතුවල නිරත වනජීවී නිලධාරීහු සමත් වූහ. යාබද නිවෙසකින් එම අනවසර විදුලි වැටට විදුලිය යොදා ඇති බවට වනජීවී නිලධාරීන් සැක කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකෙරෙන අතර මෙතක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැත.

බරණ හස්තියාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම වනසත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරන අතර ගල්කිරියාගම පොලිස් ස්ථානයේ නිලධාරීහුද ඊට සහාය වෙති.

බරණ හස්තියාගේ මෙම ඝාතනයට සම්බන්ධ අය පිළිබඳව යම් තොරතුරක් දන්නා අයකු වෙතොත් ගල්කිරියාගම වනසත්ත්ව අඩවි කාර්යාලයට හෝ ප්‍රධාන කාර්යාලයේ විශේෂ දුරකථන අංක 1992ට හෝ 011-2888585ට තොරතුරක් දන්වන ලෙස ගල්කිරියාගම වනසත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලය ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීමක් කරයි.

මඩාටුගම _ ප්‍රසංග ඒකනායක, කලාවැව – ප්‍රදීප් රණසිංහ