පොල්දූවේදී ගිනි අවි පැහැර ගත් සිද්ධියට පැතුම් කර්නර් අත්අඩංගුවට

0
60

පාර්ලිමේන්තු පිවිසුම අසලදී හමුදා නිලධාරීන්ට පහරදී ගිනි අවි පැහැර ගැනීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි අරගලයේ සමාජ ක්‍රියාකාරිකයෙක් වන පැතුම් කර්නර් නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (28දා) අත්අඩංගුවට ගත්තේය.

ඒ අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක් ලබාදීමට පැමිණීමෙන් පසුවය.

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී පැවැති විරෝධතාව මෙහෙය වූ බවට මොහුට චෝදනා එල්ල වී තිබිණි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඉකුත් 18 වැනිදා මොහුට කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද අසනීප තත්ත්වයකින් පසුවන බැවින් එලෙස පැමිණිය නොහැකි බව ඔහු නීතිඥවරයකු මාර්ගයෙන් දන්වා තිබිණි.

ඉකුත් 13 වැනි දින මොහු බත්තරමුල්ල පොල්දූව මංසන්ධියට විවිධ ක්‍රම ඔස්සේ ජනතාව කැඳවා පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා යොදවා තිබූ මාර්ග බාධක බිඳ හෙළීම පවා මෙහෙයවා ඇතැයි පොලිසිය චෝදනා කර තිබිණි. එමෙන්ම මොහුට විදේශ ගමන් තහනමක්ද ඉකුත් 17දා සිට පනවා තිබිණි.

කීර්ති මෙන්ඩිස්