පේරාදෙණිය රෝහලේ නවතා තිබූ ලොරියකින් ඉන්ධන සොරාගෙන

0
61

පේරාදෙණිය රෝහල් පරිශ්‍රයේ නවතා තිබූ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ලොරියකින් ඉන්ධන සොරාගත් බව කියන සිද්ධියට සම්බන්ධ බව කියන රෝහල් කනිෂ්ඨ සේවකයන් දෙදෙනකු අතරින් එක් අයකු පේරාදෙණිය පොලිසිය  ඊයේ (28දා) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ලොරියේ ඉන්ධන ටැංකියේ අගුළු කඩා එහි තිබූ ඩීසල් ලීටර් 50ක් සැකකරුවන් විසින් සොරාගෙන තිබෙන බව පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.

සැකකරුවන් දෙදෙනා ගිලන් රථ රියැදුරු සහාකයන් ලෙස රෝහලේ සේවය බව පේරාදෙණිය රෝහලේ ආරක්ෂක අංශ ප්‍රධානී කේ.පී.එෆ්. වීරකෝන් මහතා පැවැසුවේය.

පසුගිය 24 දින අලුයම 2.30ට පමණ සැකකරුවන් මෙම ඉන්ධන සොරා ගැනීම සිදුකර තිබෙන බව රෝහල් ආරක්ෂක අංශයේ මධ්‍යම පළාත් කළමනාකාර මහින්ද ජයසිංහ මහතා කීය.

ලොරි රථයේ රියැදුරු 25 දින පෙරවරුවේ පැමිණ බලද්දී එහි ඉන්ධන ටැංකියේ අගුළු කඩා ඇති අයුරු දැක ඒ පිළිබඳව රෝහල් පරිපාලනයට දැනුම් දීමෙන් පසු රෝහල් පරිපාලනය මඟින් සිද්ධිය සම්බන්ධව පේරාදෙණිය පොලිසියට එදිනම පැමිණිලි කර ඇත. ලොරිය රෝහල් පරිශ්‍රයේ ගාල්කරන විට ඉන්ධන ලීටර් 100ක් පමණ ටැංකියේ තිබූ බව එහි රියැදුරු ප්‍රකාශ කර තිබේ. සැකකරුවන් ලොරි රථයේ ඉන්ධන සොරා ගන්නා අයුරු රෝහල් ආරක්ෂක අංශයේ කේ.සී. ජයසිංහ නමැති අය දැක ඇති අතර ඔහුගේ ප්‍රකාශය පදනම් කර ගනිමින් සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් කවුද යන්න රෝහල් ආරක්ෂක අංශය හා පොලිසිය තහවුරු කරගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් ප්‍රධාන පරිපාලන නිලධාරිනිය විසින් ආරක්ෂක නිලධාරිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ. සිද්ධියට සම්බන්ධ අනෙක් රෝහල් සේවකයා අත්අඩංගුවට ගැනීමට පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මහනුවර – කේ.එල්. සුරවීර