පස් පොඩ්ඩාගේ මරණය මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය 10 වැනිදා

0
16

ගම්පහ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරට ලක්ව මියගිය සමන් රෝහිත  පෙරේරා  හෙවත් පස් පොඩ්ඩා යන අයගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා එම මරණයට හේතුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ගම්පහ මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (28දා) සවස  නියම කළේය. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මළ සිරුර ළඟම ඥාතීන් වෙත භාර දෙන ලෙසට ගම්පහ රෝහලේ  සුළු සේවකට අධිකරණයෙන් නියම කෙරුණි.

ගම්පහ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී පෙරේදා (27දා) දහවල් වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා උඩුගම්පල, කෙහෙල්බද්දර පදිංචි සමන් රෝහිත පෙරේරා  හෙවත් පස් පොඩ්ඩා  යන අන්වර්ථ නමින් හ¾දුන්වන පුද්ගලයා ඇතුළු සිවුදෙනකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර තිබුණි. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී සමන් රෝහිත  පෙරේරා  හෙවත් පස් පොඩ්ඩා යන අය පෙරේදා (27දා) රාත්‍රියේම ගම්පහ රෝහලේදී මිය ගොස් තිබිණි. එම මරණය සම්බන්ධව මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණය ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (28දා)  පැවැත්විය.

මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි මෙහෙයවීම අගෝස්තු මස 10 වැනිදාට කල් තැබුණි. සාක්ෂිකරුවන්ව එදිනට (10) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට අධිකරණයෙන් ගම්පහ පොලිසියට නියම කෙරුණි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කොට ඒ සම්බන්ධ වැඩිදුර වාර්තාවක් අගෝස්තු මස 10 වැනිදාට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද අධිකරණයෙන් ගම්පහ පොලිසියට වැඩිදුරටත් නියම කෙරුණි.

මිනුවන්ගොඩ –  ටෝනි කේ. අතුකෝරළ