දවස් 2ට පාතාලයෝ 5ක් මරුට

0
17

ගතවූ දින දෙකක කාලය තුළ පාතාල කල්ලි ආශ්‍රිතව සිදු වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් පස්දෙනකු මියගොස් තවත් සිවුදෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මූලස්ථාන ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘මව්බිම’ට පැවැසීය.

මෙම වෙඩි තැබීම් මාලාවේ ආසන්නතම සිද්ධිය පෙරේදා (27දා) රාත්‍රියේ රත්මලාන සිල්වා මාවත ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එහිදී ටී 56 වර්ගයේ ගිනි අවි අතැතිව නිවෙසක් තුළට ඇතුළු වූ දෙදෙනකු විසින් වෙඩි තබා ත්‍රිරෝද රථ රියැදුරකු ඝාතනය කරනු ලැබ පලා ගොස් තිබේ.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ තිස් හැවිරිදි චරිත් උමයංග සිල්වා නමැති දෙදරු පියකු බවද පොලිසිය සඳහන් කරයි.

අදාළ ඝාතකයන් දෙදෙනා මෙම නිවෙසට පැමිණ ‍ෙදාරට තට්ටු කර ඇති අතර මෙම ත්‍රිරෝද රථ රියැදුරා ‍ෙදාර විවෘත කිරීමත් සමඟම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.

පසුව වෙඩි වැදුණු මොහුව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. 

මෙම වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විමර්ශන ආරම්භ කොට ඇත. 

එසේම අනෙක් වෙඩි තැබීම අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයෙන් පෙරේදා (27දා) රාත්‍රියේ වාර්තා වී ඇති අතර එයින් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් අයකු බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අවමංගල්‍යයක් අතර එල්ල වූ මෙම වෙඩි ප්‍රහාරයෙන් එම ප්‍රදේශයේම පදිංචිව සිටි තිරිමාදුර සුජිත් ප්‍රියන්ත (49) සහ අජිත් සුදර්ශන (42) යන දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.   

මෙම වෙඩි ප්‍රහාරය සඳහා ඝාතකයන් දෙදෙනකු පැමිණ ඇති බවත් ඔවුන් යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි ප්‍රහාරය සිදු කොට එම ස්ථානයෙන් පලාගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.

මෙම වෙඩි ප්‍රහාරයටද ටී 56 වර්ගයේ ගිනි අවි භාවිත කොට ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.

ඉකුත් 26 වැනිදා අම්බලන්ගොඩ, උෟරවත්ත මංසන්ධියේදී වූ වසන්ත ද සොයිසා ඝාතනයේ පලිය ගැනීම සඳහා මෙම වෙඩි තැබීම සිදු කොට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

වසන්ත සොයිසාගේ පාර්ශ්වයෙන් මෙම වෙඩි තැබීම සිදුකළ බවට සැක පළවීමත් සමඟ එම කණ්ඩායම් සොයා පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

වසන්ත සොයිසා ඝාතනයට ලක්වූයේ ඔහු අධිකරණය හමුවේ විභාග වූ නඩුවක් සඳහා පෙනී සිට නැවත එමින් සිටියදීය.

බූරු අජිත් නමැත්තකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් මෙම නඩුව ඔහුට විරුද්ධව විභාග වෙමින් පැවැති බවද පොලිසිය සඳහන් කරයි.

දකුණේ පාතාල නායකයන් අතර කලක සිට පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතන සිදුව ඇති බවද සඳහන් වේ.

එසේම ඉකුත් 26 වැනි දින ගම්පහ මහාධිකරණය ඉදිරිපිටදී සිදු වූ වෙඩි තැබීමෙන් සමන් රෝහිත පෙරේරා නොහොත් පස් පොඩ්ඩා නමැත්තා ජීවිතක්ෂයට පත්වූ අතර මෙහිදී තවත් තිදෙනකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත.

ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා පෙනී සිටීමෙන් පසු පස් පොඩ්ඩා තවත් පස්දෙනකු සමඟ කැබ් රථයකින් පිටව යන අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදු කොට ඇති අතර ඝාතකයන් මෝටර් රථයකින් පැමිණ වෙඩි තැබීම සිදු කොට පලාගොස් ඇතැයිද සඳහන් වේ.

ගම්පහ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පාතාල අණසක පතුරුවන ගනේමුල්ල සංජීව නමැති පාතාල නායකයා විදෙස් රටක සිට මෙම ඝාතනය මෙහෙයවා ඇතැයිද පාතාල මර්දන ඒකක වෙත තොරතුරු ලැබී තිබේ.

චාමර අමරසූරිය, කීර්ති මෙන්ඩිස්, අහුංගල්ල – ඒ. සිවනෙත්ති