ඩීසල් ලීටර් 1500ක් හයිවේ එකෙන් අදිද්දී මාට්ටු

0
11

සුරතල් මසුන් ප්‍රවාහනය කරන මුවාවෙන් වැඩි මිලට අලෙවි කිරීමට ඩීසල් තොගයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාගම්පුර පිවිසුමෙන් (හම්බන්තොට) ලොරි රථයකින් රැගෙන යමින් සිටියදී අධිවේගී මාර්ග පිවිසුමේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් විසින් ඊයේ (28දා) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු ලොරි රථයකින් සුරතල් මසුන් ප්‍රවාහනය කරන මුවාවෙන් ඩීසල් ලීටර් 1,500ක් රැගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාගම පිවිසුමෙන් යෑමට පැමිණි අවස්ථාවේ එහි රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් විසින් ලොරි රථය පරීක්ෂා කිරීමේදී එහි සඟවා රැගෙන යමින් සිටි ඩීසල් තොගය සොයාගෙන තිබේ. එහිදී සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ වැඩි මිලට අලෙවි කිරීමට මෙලෙස ඩීසල් තොගය රැගෙන යමින් සිට ඇති බවයි.

අත්අඩංගුවට පත් ඩීසල් තොගය, ලොරි රථය සමඟ සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට පොලිසියට භාර දුන් අතර සැකකරු හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස් පරීක්ෂක ලෙව්ලියද්ද, පොලිස් සැරයන් රාජික (49813), පොලිස් කොස්තාපල් ලක්ෂාන් (87662) යන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර හම්බන්තොට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද දිරිසූරිය මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් අජන්ත (45002) විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරීමට නියමිතව තිබිණි.

මත්තල – ඩී.එන්. ජයසේකර