ටැමිල් යූනියන්-සී.සී.සී. සහ යුද හමුදා-එස් කැපිටල් අවසන් පූර්ව තරග හෙට

0
26

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රමුඛ පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට (30දා) කොළඹ කෝල්ට්ස් පිටියේදී සහ එන්.සී.සී. පිටියේදී පැවැත්වේ.

ඒ අනුව ටැමිල් යූනියන් පිල සමඟින් සී.සී.සී. පිල කොළඹ කෝල්ට්ස් පිටියේදීත්, යුද හමුදාව සහ ඒස් කැපිටල් පිල කොළඹ එන්.සී.සී පිටියේදීත් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා සටන් වදිති.  අවසන් තරගය අගෝස්තු මස 1 දින කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කෙසේ වෙතත් තරග 12කදී ශතක 2ක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 631ක් රැස්කළ චිලව් මේරියන්ස් පිලේ කසුන් විදුර අධිකාරි වැඩිම ලකුණුලාභී පිතිකරු ලෙස පෙරමුණ ගෙන සිටින අතර, ලකුණු 344කට කඩුලු 36ක් දවාලමින් තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා බවට පත්වීමට බී.ආර්.සී. පිලේ දුවිඳු තිලකරත්න සමත්විය. 

එසේම රාගම ක්‍රීඩා සමාජයේ නිශාන් මධුෂ්ක (ලකුණු 557), එස්.එස්.සී. පිලේ නිපුන් ධනංජය (ලකුණු 533), රාගම පිලේ ජනිත් ලියනගේ (ලකුණු 525) සහ එස්.එස්.සී. පිලේ ක්‍රිෂාන් සංජුල (ලකුණු 515) යන ක්‍රීඩකයන් වැඩිම ලකුණුලාභී පිතිකරුවන් අතරින් පෙරමුණ ගෙන සිටින අතර, කෝල්ට්ස් පිලේ අකිල ධනංජය (කඩුලු 35), සී.සී.සී. පිලේ අශාන් ප්‍රියංජන් (කඩුලු 32), එන්.සී.සී. පිලේ අශේල් සිගේරා (කඩුලු 31) සහ ටැමිල් යූනියන් පිලේ දිලුම් සුදීර (කඩුලු 30) යන ක්‍රීඩකයන් වැඩිම කඩුලුලාභී පන්දු යවන්නන් අතරින් පෙරමුණ ගෙන තිබේ.

ධනංජය ද සිල්වා ටැමිල් යූනියන් පිලත්, අශාන් ප්‍රියන්ංජන් සී.සී.සී. පිලත් මෙහෙයවද්දී තිසර පෙරේරා යුද හමුදා පිල හා ලසිත් කෘෘස්පුල්ලේ ඒස් කැපිටල් පිල මෙහෙයවති.

ඉෂාන් රශ්මිත