ජනාධිපති ජේ‍යෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙක්

0
208

ජනාධිපති ජේ‍යෂ්ඨ උපදේශකවරුන් ලෙස මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර සහ ශෙනුකා සෙනෙවිරත්න පත් කරනු ලැබ ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මෙම පත් කිරීම් සිදුකළ අතර මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර ජනාධිපති ජේ‍යෂ්ඨ උපදේශක (මාධ්‍ය) ලෙසත්, ශෙනුකා සෙනෙවිරත්න ජනාධිපති ජේ‍යෂ්ඨ උපදේශක (ජාත්‍යන්තර මාධ්‍ය) ධුරයේත් පසුගියදා රාජකාරි ආරම්භ කර තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වන මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා එම විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති ලෙසද සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා ලෙසද කටයුතු කර ඇත.

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති ඔහු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන හා සන්නිවේදන අධ්‍යක්ෂ ජනරාල් ධුරයේද කටයුතු කර තිබේ.

ජනාධිපති ජේ‍යෂ්ඨ උපදේශක ධුරයට පත්කර ඇති ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය මෙරට රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල අත්දැකීම් රැසක් ඇති ජේ‍යෂ්ඨ නිලධාරිනියක වන අතර විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් ධුරයද හොබවා ඇත.

ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්, තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරිය ලෙස ජිනීවා සහ නිව්යෝර්ක්හි කටයුතු කර තිබේ.

සඳුනි ගමාරච්චි