ජනපති මැඳුරෙන් හමුවූ කෝටි 2 උසාවියට දෙන්න නියෝග

0
13

ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් සොයොගෙන කොටුව පොලිසියට භාරදුන් බව කියන රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල වහාම අධිකරණය භාරයට ලබාදෙන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (28දා) කොටුව පොලිසියේ ස්ථනාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ මහතාට නියෝග කළේය.

ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කරනු ලැබූ දැනුම්දීමක් මත මහෙස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග නිකුත් කළේය.

පසුගිය නව වැනි දින අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේදී එහි තිබී සොයා ගන්නා ලද රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක් වන මෙම මුදල අරගලකරුවන් විසින් පොලිසියට භාරදී සති තුනකට වැඩි කාලයක් ගතවී තිබුණද ඒ සම්බන්ධයෙන් මේ වන තෙක්ම කිසියම් හෝ වාර්තාවක්, දැනුම් දීමක් කොටුව පොලිසිය සිදුකර නැතැයි  ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ දැනුම් දී සිටියේය.

අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් අරලියගහ  මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී  කටයුතු සිදු කළේ යැයි සඳහන් කරමින් කොටුව පොලිසිය අත්අඩංගුවට ගත් අරගලකරුවන් සිවු දෙනකු අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙලෙස අධිකරණය හමුවේ මෙම කරුණු අනාවරණය විය.

මෙම සැකකරුවන් සිවුදෙනා එදින ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ මුදල් ගණන් කරමින් සිටියදී එම ස්ථානයේ සිටි බවට කරුණු අනාවරණය වන බව කොටුව පොලිසිය අධිකරණය හමුවේ වාර්තා කළේය.

එමෙන්ම එම අධිකරණට ඉදිරිපත් කළ සැකකරුවන් සිවුදෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

කුසල් සඳරුවන්, අබ්දුල් කාදර් අබ්දුල් කලිල්, ජෙයරාම්ර ජයකුමාර් සහ ජෙයරාම් ජෙයරාජ් යන සැකකරුවන් මෙලෙස අධිකරණය මඟින් ඇප මත මුදා හැරිණි.  

හංසි නානායක්කාර