ජනපතිත් සමඟ පැවැති සර්ව පාක්ෂික සාකච්ඡාව සාර්ථකයි

0
12

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර පැවැති පළමු සාකච්ඡාව සාර්ථක වූ බව එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක පැවැසීය.

සියලු පක්ෂවලට අවම එකඟතාවක් හෝ ඇති කර ගත හැකි අයුරේ වැඩ පිළිවෙළක් සකස් කොට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කිරීම ගැන එහිදී සාකච්ඡා වූ බව දුමින්ද දිසානායක පැවැසීය.

පක්ෂ දේශපාලනය පසෙකින් තබා යම්කිසි කෙටි කාලසීමාවකට සියලු දේශපාලන පක්ෂ රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා එක් විය යුතුය යන අදහසින් සර්වපාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කිරීමේ යෝජනාව ශ්‍රී ලනිපය ඉදිරිපත් කළ බවද හෙතෙම කීය.

සර්වපාක්ෂික ආණ්ඩුවක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ හා ශ්‍රී ලනිප මන්ත්‍රි කණ්ඩායම අතර මුදල් අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ අවුල තවදුරටත් දේශපාලන හබයකට, රණ්ඩුවකට හෝ පක්ෂවල අනාගත දේශපාලනය වෙනුවෙන් යොදා නොගෙන  ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා කෙටි කාලීන විසඳුම් ලබා ගත හැකි වන අයුරින් සියලු පක්ෂවල එකඟතාවයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස එම සාකච්ඡාවේදී ඉල්ලිම් කළ බවද ඔහු කීය.

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පක්ෂවල අදහස් විමසීමට ජනපතිවරයා කළ කැඳවීමකට අනුව ශ්‍රී ලනිප මන්ත්‍රි කණ්ඩායම ඊයේ ජනපතිවරයා හමුවී ඇත.

එහිදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවලියක්ද ජනපතිට භාරදී තිබේ.  එම හමුවට ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ වෙනුවෙන් එහි සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන, පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්ප කුමාර ඇතුළු මන්ත්‍රි පිරිසක් සහභාගි වී ඇත.

සවනි ශේශාධි