ඉන්ධනහලේ කළමනාකරුගේ බෙල්ලට යාන්ත්‍රික කියත තැබූ සැකකරු අධිකරණයට

0
14

දෙයියන්දර ඉන්ධන පිරවුම්හලේ ඩීසල් සහ පෙට්රල් නිකුත් කරන අතරතුර යාන්ත්‍රික කියතක් (චෙන්සෝවක්) රැගෙන පැමිණි පුද්ගලයකු ඒ සඳහා අවශ්‍ය පෙට්රල් ලබාදෙන ලෙසට පිරවුම්හල් කළමනාකරුගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ පිරවුම්හල් කළමනාකරු යාන්ත්‍රික කියත් සඳහා ඉන්ධන නිකුත් කළ නොහැකි බවට පැවැසීම හේතුවෙන් උරණ වූ එම පුද්ගලයා තම අත තිබූ යාන්ත්‍රික කියත පණ ගන්වා පිරවුම්හලේ කළමනාකරුගේ බෙල්ලට තැබීමට උත්සාහ කර තිබේ. එම අවස්ථාවේ යාන්ත්‍රික කියත ක්‍රියා විරහිත වී ඇත. පසුව එම පුද්ගලයා දෙයියන්දර පොලිසිය අත්අඩංගුවට ගෙන දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.

දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙසට දෙයියන්දර මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු අනුරුද්ධිකා දිසානායක මහත්මිය නියෝග කළාය. ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළේ දෙයියන්දර, කැටියපේ පදිංචි 33 හැවිරිදි අයකුය. විත්තිය වෙනුවෙන් දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රසන්න කොඩිතුවක්කු මහතා සහ ඉන්දුනී මුණසිංහ මහත්මිය පෙනී සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් දෙයියන්දර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදේෂ් නාලක මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක රජින්ද්‍ර මහතා අධිකරණයට කරුණු දැක්වීය.

ඌරුබොක්ක _ අතාවුද පතිරණ