ආර්ථික හා දේශපාලන අර්බුද ජයගන්න රජයට යෝජනා රැසක්

0
197

පවතින ආර්ථික, දේශපාලන අර්බුදය යොදාගනිමින් ශ්‍රී  ලංකා රාජ්‍ය බිඳවැට්ටීම සඳහා දියත්වන ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමට ගොදුරු නොවීමට අවශ්‍ය පොදු වැඩපිළිවෙළක් නිර්දේශ සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිඛිතව ඉදිරිපත් කිරීමට ජාතික නිදහස් පෙරමුණ පියවර ගෙන ඇත.

වත්මන් ආර්ථික සහ දේශපාලන අර්බුදය තවදුරටත් වර්ධනය වීම වළක්වා ගැනීමට දේශපාලන පක්ෂ සහ මහජනයා අතර එකඟතාවක් ඇති කිරීමට අවශ්‍ය යෝජනාවලියක් සහ අර්බුද විසඳීම සඳහා අවම පොදු ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීමට අවශ්‍ය යෝජනාවලියක් ලෙස මාතෘකා දෙකක් ඔස්සේ මෙම යෝජනා ඉදිරිපත් කිරීමට ජාතික නිදහස් පෙරමුණ කටයුතු කර ඇත.

අර්බුද සමනය කිරීමට දේශපාලන පක්ෂ සහ මහජනයා අතර එකඟතාවක් ඇති කර ගැනීම වෙනුවෙන් යෝජනා 12ක් මෙහිදී ඉදිරිපත් කර ඇත.

රාජ්‍යයට එරෙහිව විරෝධතා පැවැත්වීම සඳහා මහජනයා සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීම, අර්බුද විසඳීම සඳහා සර්වපාක්ෂික සමුළුවක් කැඳවීම සහ එම සමුළුවට විරෝධතාකරුවන්ගේ නියෝජිතයන්ටද ආරාධනා කිරීම, ආර්ථික අර්බුදය විස¼දා දේශපාලන සංවාදයක් ඇති කිරීමෙන් පසුව පමණක් ව්‍යවස්ථා සංශෝධන යෝජනා ඉදිරිපත් කිරීමට සහතික වීම, සර්වපාක්ෂික සමුළුව මඟින් සම්මත කරන වැඩපිළිවෙළ ජනගත කිරීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පාර්ශ්වවල සමඟින් එකඟතා ආණ්ඩුවක් පිහිටුවීම මෙම යෝජනා ‍ෙදාළහේ මූලික කරුණු ලෙස දැක්විය හැකිය.

සර්වපාක්ෂික සමුළුවක් විසින් සැලකිල්ලට ගත යුතු යෝජනා 10ක්ද මෙම ලියැවිල්ලේ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් කර තිබේ.

ඛනිජ තෙල් සහ ගෑස් ආනයනය කිරීමේදී ලෝක වෙළෙඳපොළේ අඩුම මිලට ඒවා සපයන රුසියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වහාම ආරම්භ කිරීම,

ජාතික වගා සංග්‍රාමයක් ආරම්භ කිරීම සහ ඊට අදාළව සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යභාරය නිශ්චිතව හඳුනා ගැනීම සහ ඔවුන්ගේ වගකීම පිළිබඳ අධීක්ෂණය, එරොෆ්ලොට් සිද්ධිය මෙන්ම ශ්‍රී  ලංකාව ජාත්‍යන්තර සබඳතා ආශ්‍රිතව අර්බුදයට ලක්කිරීම සඳහා සිදුවී ඇතැයි විශ්වාස කරන සිදුවීම් පිළිබඳ සොයා බැලීමට විශේෂිත කොමිසමක් පත් කිරීම,

සියලුම ජාත්‍යන්තර ආයෝජන, වෙළෙඳ හෝ ආරක්ෂක ගිවිසුම් අස්සන් කිරීමට පෙර ඒවා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම ආදී යෝජනා මෙම යෝජනා 10යේ මූලික කරුණු ලෙස දැක්විය හැකිය.

පීඩාවට පත්වන අඩු ආදායම්ලාභී ජනතාවට සහන සැලසීම සඳහා විශේෂිත අරමුදලක් පිහිටුවීම, 2017 විදේශ විනිමය පනත සංශෝධනය කිරීම යන යෝජනාද මීට ඇතුළත්ය.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශගේ අස්සනින් යුතුව මෙම යෝජනා ලිපියක් මඟින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට යොමුකර ඇත.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය