අවුරුදු 60ට වැඩි හා නිදන්ගත රෝගවලින් පෙළෙන අය හතරවැනි එන්නත් මාත්‍රාව ලබාගැනීම වැදගත්

0
36

කොවිඩ් – 19 වැලඳීමේ වැඩි අවදානමක් ඇති වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් හා නිදන් ගත රෝගවලින් පෙළෙන කණ්ඩායම් දෙවැනි වර්ධක මාත්‍රාව හෙවත් හතරවන එන්නත් මාත්‍රාව ලබාගැනීම වැදගත් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පැවැසීය. අවුරුදු 20ට වැඩි ඕනෑම අයකුට සිය කැමැත්ත පරිදි දෙවැනි වර්ධක මාත්‍රාව (ඕධධඵබඥප) ලබාගත හැකි බව කී විශේෂඥ වෛද්‍යවරයා ඒ සඳහා සෑම රෝහලකම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකම අවශ්‍ය එන්නත් තිබෙන බව සඳහන් කළේය.

කොරෝනා අධි වසංගත තත්ත්වයකට පැමිණියහොත් එන්නත්කරණයේ ගැටලු ඇති විය හැකි බවත්, මෙම කාල සීමාවේදී එන්නත් ලබාගත හොත් රෝගය පාලනය කරගත හැකි බවත් ගිනිගේ මහතා ප්‍රකාශ කළේය.

ගෝලීය වශයෙන් යුරෝපා, ඇමරිකා, ආසියා මහද්වීපවල පසුගිය මාස දෙකක කාලය තුළදී කොවිඩ්-19 රෝගයේ පැහැදිලි ක්‍රමික වර්ධනයක් නිරීක්ෂණය වන බවත්, දැනට අලුතෙන් සොයාගෙන ඇති ගෝලීය අනු ප්‍රභේද කාර්යක්ෂමව ව්‍යාප්තියත් වැඩි සංකූලතා ඇතිවීමේ සම්භාවිතාවක් තිබෙන බවත් හෙතෙම පැවැසීය.

අලුතෙන් කොරෝනා  ප්‍රභේදයක් ඇති වූ විට ඉතා කෙටි කාලයක් තුළ ලෝකය පුරා පැතිර යෑමේ අවදානමක් තිබෙන බැවින් කල් ඇතිව පියවරයන් අනුගමනය කොට හානිය අවම කරගැනීම අවශ්‍ය බව ගිනිගේ මහතා සඳහන් කළේය.

පසුගිය මාස 4 තුළදී කොවිඩ් පාලනය හොඳින් කර දෛනික රෝගීන්ගේ ප්‍රමාණය 20ට අඩු මට්ටමට ගෙනා බවත්, දෛනික මරණ ප්‍රමාණයද සතියකට එකක් දක්වා පහතට ගෙන ආ නමුත් පසුගිය දවස් තුළ 10 තුළ දෛනික රෝගීන්ගේ සංඛ්‍යාව සාපේක්ෂ වැඩි වීමක් නිරීක්ෂණය වූ බවත්, එහිදී දෛනිකව රෝගීන් 60ක් පමණ වාර්තා වන තත්ත්වයට පැමිණි බවත් පැවැසූ ගිනිගේ මහතා දෛනික රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වූ සෑම විටම ඊට සමාන්තරව මරණ ප්‍රමාණයේ වැඩි වීමත් වාර්තා වූ බවද කීය.

මේ අතර ෆයිසර් එන්නතේ කල් ඉකුත්වීමේ කාලය දීර්ඝ කර ඇති බැවින් එය ලබාගැනීමේ ගැටලුවක් ඇති නොවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවැසීය.

නිෂ්පාදකයා විසින් ඔෟෂධවල ආයු කාලය තීරණය කරන බවත් එම එන්නතේ හෝ ඔෟෂධයේ ඇති ප්‍රබලත්වය මත එය භාවිතයට ගන්නේද නැද්ද කියා තීරණය වන බවත් ඔහු කීය.

ඕනෑම ඔෟෂධයක දත්ත රැස් කොට පර්යේෂණවලදී තවදුරටත් පාවිච්චි කළ හැකියැයි ඔප්පු වුවහොත් එය ඉදිරියටත් භාවිත කිරීමේ හැකියාව පවතින බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මීට පෙර ෆයිසර් එන්නත් කල් ඉකුත් වන දිනයක් ලබාදී තිබුණද එන්නත තවදුරටත් භාවිතයට ගත හැකියැයි නිපදවන සමාගම පර්යේෂණවලින් හා දත්තවලින් තීරණය කොට ලෝක සෞඛ්‍ය සංවිධානයට හා අනෙකුත් ආයතනවලට දැනුම් දී තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ෆයිසර් එන්නත අලුතෙන් හඳුන්වා දුන් එන්නතක් බැවින් කොතරම් කාලයකින් කල් ඉකුත්දැයි සමාගම්වලට එක්වරම ප්‍රකාශ කළ නොහැකි බවත්, දත්ත එක්රැස්වන ආකාරයට මේවායේ කාලයන් වෙනස් වන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

අමිත් මධුරංග ගමගේ