ජනපතිගෙන් තව ත් පත්වීම් දෙකක්

1
1293

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධූරයට මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර සහ ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය පත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම පත්කිරීම සිදු කරනු ලැබ ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (මාධ්‍ය) ලෙස ත් මහාචාර්ය ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (ජාත්‍යන්තර මාධ්‍ය) ලෙස ත් පසුගිය දා සිය ධූරයේ රාජකාරී ආරම්භ කළ බව ය.

කැලණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වන මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර එම විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති සහ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති ඒ මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ සංවර්ධන හා සන්නිවේදන අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ ද සේවය කර ඇත.

එමෙන් ම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (ජාත්‍යන්තර මාධ්‍ය) ධූරයට පත්කර ඇති ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය මෙරට රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල අත්දැකීම් රැසක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන අතර විදේශ සබඳතා අමාත්‍යංශයේ ලේකම් ධූරය ද කටයුතු කර තිබේ.

ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස ද තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ද එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරිය ලෙස ද කටයුතු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරට ත් සඳහන් කළේ ය.

1 COMMENT

Comments are closed.