ඝාතන 5කට සැක පස් පොඩ්ඩාට ගම්පහ උසාවිය ළඟදී වෙඩි පිට වෙඩි (VIDEO)

0
283

ගම්පහ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී ඊයේ (ජූලි 27දා) වැගන් ආර්. වර්ගයේ රථයකින් පැමිණි ආයුධ සන්නද්ධ කණ්ඩායමක් හෝ එක් අයෙකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් ‘පස් පොඩ්ඩා’ නමින් හඳුන්වන පුද්ගලයෙකු ඇතුළු සිවු දෙනෙකු බරපතළ තුවාල ලබා ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ‘පස් පොඩ්ඩා’ නමැත්තා මිය ගොස් තිබේ.

නඩු කටයුත්තක් සඳහා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය සහ මහාධිකරණය වෙත පැමිණ ආපසු යමින් සිටියදී මෙසේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත්තේ ගම්පහ, උඩුගම්පොළ කෙහෙල්බද්දර ප්‍රදේශයේ පදිංචි සමන් රෝහිත පෙරේරා හෙවත් පස් පොඩ්ඩා සහ ඔහුගේ ගෝලබාලයන් තිදෙනෙකු ඇතුළු සිවුදෙනෙකි.

පස් පොඩ්ඩා නමැති මෙම පුද්ගලයා ගම්පහ අංක 2 මහාධිකරණ ‍ෙදාරටුවෙන් එළියට විත් ඔහුට අයත් කැබ් රථයට ගොඩ වෙමින් සිටියදී වැගන් ආර්. වර්ගයේ රථයකින් පැමිණ එම වෙඩි තැබීම සිදුකර ඇති බවට මෙතෙක් කරන ලද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

2005 වර්ෂයේ සැප්තැම්බර් මස 26 වන දා ගම්පහ මිනුවන්ගොඩ මාර්ගයේ අස්ගිරිය කළු පාලම අසලදී ටිපර් රථයකින් මාර්ගය හරස් කර අසිත නමැති හිටපු පාතාල සාමාජිකයා ඝාතනය කිරීමට බන්ධනාගාර බස් රථයට වෙඩි තබා බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු සහ සිවිල් වැසියකු ඝාතනය කිරීම, ටී 56ක් ඇතුළු ගිනිඅවි සන්තකයේ තබා ගැනීම සහ පස් ජාවාරමට අදාළව පුද්ගලයන් රැසක් ඝාතනය කිරීම පිළිබඳව ඔහුට චෝදනා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

වෙඩි පහරට ලක්ව හිසට බරපතළ හානි සිදුවීමෙන් ඔහු ගම්පහ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බව බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

ගනේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයාගේ කණ්ඩායමක් හෝ ගම්පහ ප්‍රබලයන්ගේ කණ්ඩායමක් මෙම වෙඩි තැබීම පිටුපස සිටින බවට පොලිසිය සැක පහළ කරයි.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ අධීක්ෂණය මත ගම්පහ සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර, ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම වෙඩි තැබිම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.