CID පාට් දමා දෙදරු මව කෙලෙසූ අයෙක් අත්අඩංගුවේ

0
14

අපරාධ විමර්ශන අංශයේ නිලධාරියකු යැයි පවසමින් 38 හැවිරිදි දෙදරු මවක් දූෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකු නුවරඑළිය පොලිසියෙන් 26 දින අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් ජයසේකර මහතා පැවැසීය.

දූෂණයට ලක් වූවේ යැයි කියන 38 හැවිරිදි දෙදරු මව සැමියාගෙන් වෙන් වී සිටින අතර ඇය මහියංගණය ප්‍රදේශයේ පදිංචිකරුවකු (21) සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබේ. දෙදෙනා ඉකුත්දා (16දා) නුවරඑළිය ප්‍රදේශයේදී හමුවී කතා කරමින් සිටියදී සැකකරු තමන් අපරාධ විමර්ශන අංශයේ නිලධාරියකු යැයි පවසමින් දෙදෙනාගෙන් ප්‍රශ්න කර දෙදෙනාගේ වයස් පරතරය ගැළපෙන්නේ නැති බව පවසමින් දෙදරු මව කතා කරමින් සිටි මහියංගණය ප්‍රදේශයේ තරුණයාව පලවා හැරීමට ක්‍රියා කර ඇති බව පොලිසිය කියයි.

දෙදනාගේ සම්බන්ධතාව පිළිබඳව ජංගම දුරකථනය ඔස්සේ ඡායාරූප ගත කළ බවත් එය සමාජ මාධ්‍යට මුදාහරින බව පවසා දෙදරු මව බිය ගන්වා තුරඟ තරග පිටිය දෙසට කැඳවාගෙන ගොස් බලහත්කාරයෙන් ඇයව දූෂණය කළ බවට අගතියට පත් කාන්තාව විසින් නුවරඑළිය පොලිසියට කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගත් බව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවැසීය. දූෂණයට ලක් වූවේ යැයි කියන කාන්තාව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නුවරඑළිය පොලිසිය පවසයි.

නොර්වුඩ් _ නීටා පත්ම කුමාරි