ඇන්තනී වේරංග පුෂ්පික අද අධිකරණයට

0
473

අධිකරණ නියෝග කඩ කරමින් මැයි මස 19 වන දා සහ ජූනි මස 9 වන දා කොළඹ කොටුව ප්‍රදේශයේදී ද ජූනි මස 10 වන දා ඉසුරුපාය, බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ද උද්ඝෝෂණ පැවැත්වීම, අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම, පොලිස් නිලධාරින්ට සාපරාධී බලහත්කාරය පෑම, රජයේ දේපළවලට හානි සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අදාළව අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඊයේ (ජූලි 27) දහවල් කාලයේදී කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව ය.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවරුදු 27ක් වූ ගාලු පාර, දොඩම්දූව ලිපිනයේ පදිංචි ඇන්තනී වේරංග පුෂ්පික ද සිල්වා නමැති අයෙකු බව පොලිසිය පැවසීය.

සැකකරු කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් වැඩිදුර විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව කොළඹ කොටුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයා වෙයි.

දැනට ඔහුගේ ශිෂ්‍යභාවය අහෝසිකර ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය පැවසීය.

සැකකරු අද (ජූලි 28) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

මේ සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

අදාළ පුද්ගලයා සිවිල් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ලද බවට ද වාර්තා පළ වී තිබිණි.