හෘදය රේඛාව දෙකඩ වුණොත් ප්‍රේමයෙන් පරදිනවාද?

0
318

අත්ලේ ප්‍රධාන රේඛාවන් අතර තවත් රේඛාවකි හෘදය රේඛාව. සුළැඟිල්ලට පහළ බුධ මණ්ඩලය ප්‍රදේශයේ සිට ශීර්ෂ රේඛාවට ඉදිරිපසින් දබර ඇඟිල්ල දෙසට විහිදයන හෘදය රේඛාව ක්‍රම කිහිපයකින් අවසන් විය හැකිය. ඇතැම් අයගේ මෙම රේඛාව ශනි මණ්ඩලයෙන් අවසන් වන අතර තවත් විටෙක දබරඟිල්ල දෙසටත් පහළට නැමී යන ආකාරයටද පිහිටා තිබෙනු දැකිය හැකිය. ගුරු, ශනි, රවි, බුධ යන ග්‍රහ මණ්ඩල හතරේ විද්‍යුත් ශක්තීන්ගෙන් පෝෂණය වන හෘදය රේඛාව පුද්ගලයාගේ මනස කෙරෙහිද එක එල්ලේම බලපෑමක් ඇති කරයි.

හෘදය වස්තුව සහ පෙණහලුවල ස්වභාවය සහ ඒවායෙහි ක්‍රියාකාරීත්වය සටහන් වන අත්ලේ ඇති ප්‍රධානතම රේඛාව වන්නේත් මෙම රේඛාව බැවින් එයට හෘදය රේඛාව යන නම භාවිත කරන්නට ඇත. ඒ හැරෙන්නට මෙම රේඛාව මඟින් පුද්ගලයාගේ විවාහ ජීවිතය, ආදරය. ලිංගික ආශා, රුධිර ධාවනය යම් යම් දේ නිර්මාණය කිරීමේ සහජ බුදධිය, ක්‍රියාකාරී හැඟීම්, ගතිගුණ පිළිබඳ විශේෂ ලක්ෂණද පෙන්නුම් කරයි. සමහර අයගේ අත්වල මෙම රේඛාව නොමැති වීමටද හේතු ඇත. හෘදය රේඛාව අතේ පිහිටා නැති අය අපි ව්‍යවහාර කරන ආකාරයට හිතක් පපුවක් නැති අය ලෙස හැඳින්විය හැකිය. අන් අය කෙරෙහි සෙනෙහසක්, අනුකම්පාවක් ඔවුන් තුළ නොමැත. 

තමාගේ වාසය පමණක් අපේක්ෂා කරන ආත්මාර්ථකාමී අය වෙති. එමෙන්ම ඔවුන් ජීවිත කාලය තුළදීම නොයෙකුත් ලෙඩ රෝගවලින් පෙළෙති. හොඳ හෘදය රේඛාවක්. ගුරු මණ්ඩලය මැදින් ආරම්භ වී ශනි මණ්ඩලය, රවි මණ්ඩලය අතරින් ගොස් බුධ මණ්ඩලය ප්‍රදේශයෙන් අවසාන විය යුතුව ඇත. එසේම එය ශීර්ෂ රේඛාව ළඟින්ම හෝ ශීර්ෂ රේඛාවට බොහෝ දුරින්ම හෝ නොවිය යුතුය.  හෘදය රේඛාව පටන් ගැනීමේදී මෙන්ම අවසානයේදී ද තියුණුව පෙනිය යුතුය. (හෑරීම්, කැඩීම් නොමැතිව) එසේම එම රේඛාවේ පළල, ගැඹුර, වර්ණය ගැනද සැලකිය යුතුය. හෘදය රේඛාව අගදී අතු තුනකට බෙදී ත්‍රිශූල ලකුණක් සේ පිහිටීම ජීවිත කාලයේදී සම්පත් ලැබීමට මෙන්ම පී්‍රතිමත් යුග ජීවිතයක් ගත කිරීමට හේතුවක් ද වෙයි.

හොඳ හෘදය රේඛාවක් පවතින විට හොඳ පෞරුෂයක්, යහපත් සෞඛ්‍ය තත්ත්වයක්, හොඳ ආකල්පයක් යන හැමදේම පවතී. හෘදය රේඛාව ප්‍රමාණයට වඩා මණ්ඩලවලට ළංව පිහිටීමද සුබ නොවේ. එවිට මණ්ඩලවල ශක්තිය හීනවීමෙන් පුද්ගලයා තුළ ඊර්ෂ්‍යා සහගත බවත් දරුණු ස්වභාවයත් ඇති වීමටද හේතුවේ. ඔවුහු බොහෝ ප්‍රේම සම්බන්ධතාද ඇති කර ගනිති. රේඛාව ප්‍රමාණයට වඩා පහත්වීමද ආත්මාර්ථකාමී බවත්, කලබලකාරී මානසික තත්ත්වයක් ඇති වීමටද හේතු වෙයි.

හෘදය රේඛාව තැනින් තැන කැඩී තිබිම මඟින් ප්‍රකට වන්නේ රුධිර ධාවනයේ විෂමතාවක් ඇති බවයි. පැළී ගිය ආකාරයක් හෘදය රේඛාවෙන් පෙන්නුම් කරයි නම් හෘදය වස්තුවේ කිසියම් දුර්වලතාවකි. හෘදය රේඛාව සමඟ එවැනිම රේඛාවක් කාගේ හෝ අතක පිහිටා ඇත්නම් ධනවත් වේ. හෘදය රේඛාවත්, ශීර්ෂ එකට සම්බන්ධ වී සෘජු රේඛාවක් ලෙස අත්ල හරහා විහිදයන රේඛාද කලාතුරකින් දැකිය හැකියි. එය වානර රේඛාව ලෙස හස්ත රේඛා විද්‍යාවේ හඳුන්වයි. එවැනි රේඛාවක් පිහිටි අය සාමාන්‍ය ගතිගුණවලින් බැහැර වෙනස් ගති ලක්ෂණවලින් යුතු අය වෙති. ඔවුන් බොහෝ විට දරදඬු, හිතුවක්කාර අදහස් ඇත්තෝය. එසේ වුවත් මොවුන් තුළ ඇති සහජ දක්ෂතාවන් නිසා ජීවිතයේ විශිෂ්ට ජයග්‍රහණද ලබාගත හැකිවේ.

හෘදය රේඛාව ගුරු මණ්ඩලය තුළින් මතුවී තිබීම ඉතාමත් හොඳ පිහිටීමකි.  පෙම් රජදහනේ කිරුළු පලඳින්නට වරම් ලබන එවැන්නන්ගේ යුග ජීවිතය ඉතා වාසනාවන්තය. එමෙන්ම හෘදය රේඛාවේ කෙළවර අතු තුනකට බෙදී ත්‍රිශූල ලක්ෂණ ආකාර වේ නම් එයද ජීවිත කාලයේම සැප සම්පත් ලබා පී්‍රතිමත් යුග දිවියකට හේතුවේ. රේඛාව අර්ධ කවාකාර හැඩයෙන් පිහිටීම සුබ නොවේ. ඇදුම, හතිය වැනි සෙම් රෝග වැලඳීමට එය හේතුවක් වෙයි. මෙම රේඛාව පටන් ගැනීමේදී ශාඛා දෙක තුනකට බෙදී තිබීමද යුග දිවියේ සාර්ථකත්වය පෙන්නුම් කිරීමකි. හෘදය රේඛාව දෙකඩ වීමත්, එම රේඛාවෙන් මතුවන අවරෝහණ රේඛාවක් (පහළට විහිද යන) ශීර්ෂ රේඛාව දෙසට ඇදී යෑමත් අශුභ පලදෙයි.

පරාජිත පෙම්වතෙක් හෝ පෙම්වතියක් එමඟින් මූර්තිමත් වෙයි. අංශභාගය වැනි ස්නායු රෝගවලට හේතු වන බැවින් හෘදය රේඛාව ගැඹුරට තිබීමත් සුබ නොවේ. එම රේඛාවේ කළු තිත් මඟින් වකුගඩු රෝග සෑදීමේ ප්‍රවණතාවක් ඇති බව ප්‍රකට වන අතර දම්වැල් ආකාර ලක්ෂණයෙන් පෙණහලු දුර්වල අයෙක් හඳුනාගත හැකිය. හෘදය රේඛාවේ දූපත් ලක්ෂණවලින් නහරගත ආබාධ හා ඇස් රෝග පෙන්නුම් කරයි. සමහර අයගේ හෘදය රේඛාව අත්ලේ එක කෙළවරක සිට අනිත් කෙළවර දක්වා කෙළින් ගැසූ ඉරක් මෙන් තිබිය හැකිය. ඔවුන් ඉතාමත් රාගාධිකය. මිනිස්කමක් ඔවුන් තුළින් දැකිය නොහැකි තරම්ය. විනෝදයට පෙම්වතුන් ආශ්‍රය කරන අය තුළ මෙම ලකුණු දැකිය හැකිය. හෘදය රේඛාව රෝස පැහැවීමත් සුබ පල ගෙන දෙන්නකි. සුවිනීත ගති පැවතුම් ඇති ඔවුහු කලාවට ළැදි අය වෙති.

ජේ‍යාතිර්වේදි

හිඹුටානේ පියතිලක ද අල්විස්

158, හිඹුටාන_මුල්ලේරියාව නව නගරය

0112419574,  0716212020