හදිසි නීතිය වැඩි ඡන්ද 57කින් සම්මතයි

0
13

හදිසි නීතිය වැඩි ඡන්ද 57 කින් ඊයේ (27දා) පාර්ලිමේන්තුවේදී  සම්මත  විය. හදිසි නීතියට පක්ෂව ඡන්ද 120ක්ද විරුද්ධව  ඡන්ද    63ක්ද   ලැබිණි. ඡන්දය පැවැත්වෙන මොහොතේ මන්ත්‍රිවරු  183ක් සභා ගැබෙහි සිටියහ.

  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චාමර සම්පත් දසනායක යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර එම පක්ෂයේ අනෙක් මන්ත්‍රිවරු ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රි වාසුදේව  නානායක්කාර විවාදයේදී කතා කළ නමුත් ඡන්දය භාවිත  කිරීමට  නොසිටීම විශේෂත්වයකි.

එමෙන්ම  ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රි  විමල් වීරවංශ  ඇතුළු මන්ත්‍රිවරු 5 දෙනාම මෙම හදිසි නීති පනතට පක්ෂව සිය ඡන්දය භාවිත කළ අතර ඩලස් අලහප්පෙරුම, වසන්ත යාපා, ඩිලාන්  පෙරේරා,  නාලක ගොඩහේවා, ජී.එල් පීරිස් යන මන්ත්‍රිවරු පනතට විපක්ෂව ඡන්දය භාවිත කළහ.

හදිසි නීතිය සම්මත කිරීම  පිළිබඳ  මාතෘකාව බොහෝ කතාබහට ලක්වී තිබූ අතර මන්ත්‍රිවරුන් මේ සඳහා සහභාගි නොවීම කැපී පෙනෙන කරුණක් විය.

2022 ජූලි 17 දිනැති අංක 2288/30 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් මහජන ආරක්ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ විවාදය ඊයේ (27දා) දවස පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර අවසානයේදී ඡන්ද විමසීම පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොටගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම හා සේවා පවත්වාගෙන යෑම සඳහා මහජන ආරක්ෂක ආඥා පනතේ ජනාධිපතිවරයා සතු බලතල ප්‍රකාරව මෙම නිවේදනය නිකුත් කර ඇති බව අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වේ.