සුනන්ද උපනන්දයේ ලක්ෂ 4ක තාක්ෂණ මෙවලම් ඉස්සූ ආදි සිසුවා අල්ලයි

0
13

සුනන්ද උපනන්ද විදුහලේ තාක්ෂණාගාරය කඩා එහි ළමයින්ගේ අධ්‍යාපන කටයුතු සඳහා තිබූ රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනාකමකින් යුත් ග්‍රයින්ඩර්, ග්‍රිල්, විදුලි කියත් ඇතුළු උපකරණ  තොගයක් සොරකම් කළ එම විදුහලේම ආදි සිසුවකු ඇතුළු දෙදෙනකු  ඊයේ (27දා) උදෑසන  අත්අඩංගුවට ගත් බව එගොඩඋයන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එගොඩඋයන ආනෝල්ඩ් පෙදෙසේ පදිංචිව සිටින 40 සහ 26 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කීය.

පසුගිය කාලසීමාවේ විදුහල වසා තිබී ඇති අතර ඉකුත් 25දා විවෘත කිරීමේදී විදුහල්පතිවරයා තාක්ෂණගාරය බිඳ ඇති බව දැක ඇත. ඒ අනුව කරන ලද පැමිණිල්ලක් අනුව ප්‍රදේශයේ ආරක්ෂක කැමරා  පරීක්ෂා කිරීමෙන් පසු ප්‍රධාන  සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගෙන් ලද ප්‍රකාශ මත භාණ්ඩ සොරාගෙන ඒවා සඟවාගෙන සිටි දෙවැනි සැකකරුද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

තාක්ෂණාගාරයේ පිටුපස ජනේලය උල් ආයුධයකින් කඩා ඇතුළු වී භාණ්ඩ පොහොර උරවල දමා රැගෙන ගොස් ඇති බවට හෙළිව ඇතැයි වැටලීමට එක්වූ නිලධාරියෙක් කීය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

එගොඩඋයන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාල මහතාගේ ප්‍රධානත්වයෙන් සැරයන් කුමාර (9203), කොස්තාපල්වරුන් වන  ලසන්ත (23941) සහ මධුෂාන් (9668) වැටලීමට එක්වූහ.

පොතුපිටිය – සුමිත් රණවක මොරටුව – ඉරංග ප්‍රනාන්දු