මහින්දගේ සහ බැසිල්ගේ රට ගමන් තහනම දික් කෙරේ

0
25

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම තවදුරටත් අගෝස්තු මස 2 වැනි දින දක්වා දීර්ඝ කිරීමට ශේ‍ර්ෂ්ඨාධිකරණය ඊයේ (27දා) නියෝග කළේය අගවිනිසුරු ප්‍රමුඛ පංචපුද්ගල විනිශ්චය මණ්ඩලයක් එලෙස නියෝග කරන ලද්දේ ඔවුන්ගේ පාලන කාලය තුළ රටේ ආර්ථිකය බරපතළ අර්බුදකාරී තත්ත්වයකට පත්වීම සම්බන්ධයෙන්  ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ගොනු කොට ඇති පෙත්සම් ඊයේ කැඳවූ අවස්ථාවේදීය.

ශ්‍රී  ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් විසින් එම පෙත්සම් ගොනු කරනු ලැබ ඇත.

ඉකුත් 15 වැනි දින එම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී මෙම වගඋත්තරකරුවන්ගේ විදෙස් ගමන් අද (28දා) දින දක්වා තහනම් කරනු ලැබීය.

හිටපු මහ බැංකු අධිපතිවරුන් වන ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන අයද එම පෙත්සම් මඟින් වගඋත්තරකරුවන් කොට ඇත. 

පෙත්සම් විමසුමේදී වගඋත්තරකරුවකු ලෙස නම් කොට සිටි වත්මන් ජනාධිපති හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු තම සේවාදායකයා ජනාධිපති ධුරයට පත්ව ඇති බැවින් ඔහුට හිමි මුක්තිය ප්‍රකාරව තවදුරටත් ඔහු මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවකු වශයෙන් නම් කළ නොහැකි බැවින් ඔහු ඉන් මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

තවද එවකට ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා වගඋත්තරකරුවකු කොට ඇතත් ඔහු එම ධුරයෙහි දැනට නොමැති බැවින් පෞද්ගලිකව ඔහු වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමටත් මෙහිදී තීරණය වූ අතර අදාළ නොතීසිය ඔහු අවසන් වරට පදිංචිව සිටි ලිපිනයට යොමු කිරීමටද නියම විය.

ජනාධිපති නීතිඥවරුන් වන මනෝහර ද සිල්වා, සාලිය පීරිස්, සංජීව ජයවර්ධන, චන්දන ජයසුන්දර ඇතුළු නීතිඥ මණ්ඩලයක් මෙහිදී පෙත්සම් පාර්ශ්වය හා වගඋත්තරකාර පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටියහ. පෙත්සම් විමසුම ලබන 1 වැනි දින යළි පැවැත්වේ.  

කමල් මහේන්ද්‍ර වීරරත්න