පාස්කු පෙත්සම්වලින් රනිල්ගේ නම ඉවතට

0
45

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව වළක්වාලීමට පියවර නොගැනීමෙන් ඊට. වගකිවයුත්තන් සේ සලකා අපරාධ නීතිය යටතේ එවකට රටේ පාලනය භාරව සිටි අගමැති, ආරක්ෂක ලේකම්, පොලිස්පති ඇතුළු සියලුදෙනාට එරෙහිව නඩු පවරා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා ගොනුකොට ඇති පෙත්සම් 12න් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට ඊයේ (27දා) ශේ‍ර්ෂ්ඨාධිකරණයේ සප්ත පුද්ගල විනිශ්චය මණ්ඩලය අවසර ලබා දුන්නේය.

ජනාධිපති ධුරය දරන්නකු හට හිමිවන මුක්තිය හා ඔහුට එරෙහිව පෙත්සම්කරුවන් කිසිදු සහනයක් ඉල්ලා නොතිබීමද යන හේතූන් මත එලෙස ඔහුගේ නම වගඋත්තරකාර නාමලේඛනයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් තම විරුද්ධත්වයක් නොමැති බව පෙත්සම් පාර්ශ්වයේ ඇතැම් නීතිඥවරුන් ප්‍රකාශ කර සිටියහ.

එමෙන්ම එවකට ජනාධිපතිවරයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් නීතිපතිවරයා නම්කොට තිබුණද ඔහු තවදුරටත් එම ධුරය නොදරන බැවින් ඔහු ඔහුගේ පුද්ගල නාමයෙන් වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමටද ශේ‍ර්ෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබිණි.

මෙම පෙත්සම් 12 පිළිබඳ විභාගය සඳහා පත්ව ඇති සප්ත පුද්ගල විනිශ්චය මණ්ඩලය අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු මුර්දු ප්‍රනාන්දු, විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය, විනිසුරු ශිරාන් ගුණරත්න, විනිසුරු ඒ.එච්. එම්.සී. නවාස් හා විනිසුරු එස්. තුරෙයිරාජා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විය.

ජනාධිපති නීතිඥවරුන් වන මනෝහර ද සිල්වා, සාලිය පීරිස්, සංජීව ජයවර්ධන, ෆායිස් මුස්තාපා, ෂමිල් පෙරේරා, චන්දක ජයසුන්දර, නීතිඥ සුරේන ප්‍රනාන්දු ඇතුළු නීතිඥවරුන් පිරිසක් පෙත්සම් පාර්ශ්වය වෙනුවෙන් හා අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියහ.

කමල් මහේන්ද්‍ර වීරරත්න