පාපැදියෙන් වැටී සිවුදරු පියා මරුට

0
11

අහුන්ගල්ල මාකුඹුර කෝවිලවත්තේ පදිංචි සමත්තුවාවසම් සුනන්ද (70) නමැති අයකු මෙසේ පාපැදියෙන් වැටී මියගොස් තිබේ. ඉකුත් විසි හතර වැනි දින උදේ පාපැදියෙන් ගොස් මත්පැන් බී පැමිණ දහවල් රූපවාහිනියෙන් ප්‍රවෘත්ති බලා අම්මා බලන්න යන බව කියමින් ඔහු පිටව ගොස් ඇත. නමුත් ඔහු අම්මා බැලීමට ගොස් නැති අතර නැවත මත්පැන් බී පාපැදියෙන් නිවෙසට එන අතරතුරදී අහුන්ගල්ල බැබිලමල්පොකුණ ආදාහනාගාරය ඉදිරිපිටදී පාපැදියෙන් මහමඟ වැටී මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී පවත්වන ලද මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.

ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක මහේෂ් පී. ධර්මරත්න මහතා විසින් පවත්වන ලද මරණ පරීක්ෂණයේදී අහුන්ගල්ල පොලිසියේ පොලිස් කොස්තාපල් නවරත්න මහතාගේ (58452) මෙහෙයවීම යටතේ මියගිය අයගේ බිරිය වන මුකදන්වසම් ජයන්ති ආරියවතී (69) මහත්මිය සහ පුතා වන සමත්තුවාවසම් චමල් සුරංග මහතාද සාක්ෂි දුන්හ. කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී.සී. ප්‍රියනාත් මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ අතර පාපැදියෙන් වැටී පාරේ ඔළුව වැදීමෙන් වූ තුවාල නිසා මරණය සිදුවූ බවට තීරණය කෙරිණි.

අහුන්ගල්ල _ ඒ. සිවනෙත්ති