පාකිස්තානයට ලකුණු 508ක වාර්තාගත ඉලක්කයක්

0
33

ශ්‍රී ලංකාව හා සංචාරක පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ (27දා) අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 508ක වාර්තාගත ඉලක්කයක් පසුපස යන සංචාරකයන් එක් කඩුල්ලක් දැවී ලකුණු 89ක් ලබා සිටියේය.

ඒ අනුව වාර්තාගත ඉලක්කයක් හඹා යන ඔවුන්ට මෙම තරගය ජය ගැනීම සඳහා කඩුලු 9ක් අතැතිව තවත් ලකුණු 419ක් ලබාගැනීමට සිදුව ඇත.

ලකුණු 508ක ඉලක්කයක් හඹා යන ගමනේදී පාකිස්තානු ආරම්භක පිතිකරුවන් වූ අබ්දුල්ලා සෆීක් හා ඉමාම් උල් හක් ලකුණු 42ක සබඳතාවක් තැබූවද කෝඩුකාර වෙල්ලාලගේ රැකගත් සුපිරි උඩපන්දුවක් හේතුවෙන් සෆීක් ලකුණු 16කට දවාගැනීමට ජයසූරියට හැකි විය. 

ඉන් අනතුරුව ඉමාම් උල් හක්ට එකතු වූ බාබර් අසාම් තරගය නතර කරනවිට දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47ක නොබිඳුණු සබඳතාවක් එක් කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ කඩුලු 5ක් ලකුණු 117කට අහිමිවී ගොස් තිබියදී පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් අංක 6 පිතිකරුවා ලෙස පිටියට පැමිණි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නට එකතු වූ ධනංජය ද සිල්වා ලකුණු අවශ්‍යම තිබූ මොහොතක 6වැනි කඩුල්ල වෙනුවෙන් අගනා වටිනා ලකුණු 126ක සබඳතාවක් තබමින් ශ්‍රී ලංකා ඉනිම පහසුවෙන්ම ලකුණු 350න් ඔබ්බට යා හැකි මාවතක් විවර කර දුන්හ.

එහිදී විනාඩි 166ක් පුරා කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 105කට මුහුණ දී හතරේ පහර 3ක්ද සමඟින් ලකුණු 61ක් ලබා ශ්‍රී ලංකා නායකයා නෝමන් අලීගේ පන්දුවක් හමුවේ දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 6කට ලකුණු 243ක් ලෙස දැක්විණි.

මේ අතර දිමුත් කරුණාරත්න ඊයේ ටෙස්ට් දිවියේ 6000 සම්පූර්ණ කළ 6වැනි ශ්‍රී ලාංකිකයා බවට පත්වූ අතර, මෙයට පෙර අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ ඇන්ජිලෝ මැතිව්ස් මෙම දස්කම සිදුකළ අනෙකුත් ශ්‍රී ලාංකිකයන් බවට පත්ව තිබිණි.

ශ්‍රී ලංකා නායකයාගේ දැවී යෑමෙන් අනතුරුව ධනංජයට එක් වූ කෝඩුකාර දුනිත් වෙල්ලාලගේ තරමක ප්‍රවේගකාරී පිතිහරඹයක් දියත් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව වේගයෙන් ඉහළ දමමින් සිටියදී නවාස්ගේ පන්දුවක් හමුවේ රිවර්ස් ස්විප් පහරක් ගැසීමට උත්සාහ කළ වෙල්ලාලගේ ලකුණු 18කට දැවී ගියේය. පන්දු 27කට සීමා වූ වෙල්ලාලගේ ඉනිමට එක් හතරේ පහරක් ඇතුළත් වූ අතර, දෙදෙනා අතර 7වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 35ක සබඳතාවක්ද එක්විය.

අනතුරුව ධනංජයට එක් වූ රමේෂ් මෙන්ඩිස් 8 වැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 82ක සබඳතාවක් තබමින් වාර්තාගත ඉලක්කයක් (508) පාකිස්තානයට ලබා දුන්නේය.  ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ නැංගුරම බවට පත්වූ ධනංජය ද සිල්වා විනාඩි 242ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 171කට මුහුණ දී හතරේ පහර 16ක් සමඟින් ලකුණු 109ක් ලබාගත් අතර,  එය ඔහුගේ ටෙස්ට් දිවියේ 9වැනි ශතකයද විය. ඔහුට අනගි සහායක් ලබා දුන් රමේෂ් මෙන්ඩිස් පන්දු 54කදී හතරේ පහර 5ක්ද සමඟින් නොදැවී ලකුණු 45ක් ලබාගත් අතර, මේ නිසාම දෙවැනි ඉනිමේදී කඩුලු 8කට ලකුණු 360ක් ලබා ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය.

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් පිටියේදී පැවැත්වෙන මෙම තරගයේ ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා ලකුණු 378ක් ලබාගත් නමුත් පාකිස්තානයට පළමු ඉනිම වෙනුවෙන් ලබාගැනීමට හැකි වූයේ ලකුණ 231ක් පමණි. අද තරගයේ අවසන් දිනයයි.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව පළමු ඉනිම      378

(දිනේෂ් චන්දිමාල් 80, නිරෝෂන් දික්වැල්ල 51, ඕෂධ ප්‍රනාන්දු 50, ඇන්ජිලෝ මැතිව්ස් 42, දිමුත් කරුණාරත්න 40, රමේෂ් මෙන්ඩිස් 35, නෂීම් ෂා 3/58, යසීර් ෂා 3/83)

පාකිස්තානය පළමු ඉනිම             231

(අගා සල්මාන් 62, ඉමාම් උල් හක් 32, යසීර් ෂා 26, රමේෂ් 5/47, ප්‍රභාත් ජයසූරිය 3/80, ධනංජය 1/15, අසිත 1/62)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම

දික්වැල්ල ඇ. රිෂ්වාන් ප. නෂීම්     15

ඕෂධ ප්‍රනාන්දු ක.මු.ක. ප. යසීර්     19

කුසල් මෙන්ඩිස් ක.මු.ක. ප. නවාස්            15

මැතිව්ස් ඇ. බාබර් ප. සල්මාන්      35

දිනේෂ් චන්දිමාල් ඇ. රිෂ්වාන් ප. නෂීම්       21

දිමුත් ඇ. සෆීක් ප. නෝමන්          61

ධනංජය ද සිල්වා දුවද්දී දැවී ගියා    109

දුනිත් ඇ.රිෂ්වාන් ප. නවාස්           18

රමේෂ් මෙන්ඩිස් නොදැවී 45

අතිරේක            22

මුළු ලකුණු

(පන්දුවාර 91.5කදී කඩුලු 8කට)    360

කඩුලු වැටීම _ 1-27, 2-47, 3-59, 4-100, 5-117, 6-243, 7-278, 8-360

පන්දු යැවීම _

නෂීම් 12.5-1-44-2, නවාස් 21-4-75-2,

යසීර් 21-2-80-1, සල්මාන් 12-2-41-1

පාකිස්තානය දෙවැනි ඉනිම

සෆීක් ඇ. වෙල්ලාලගේ ප. ජයසූරිය           16

ඉමාම් උල් හක් නොදැවී   46

බාබර් අසාම් නොදැවී       26

අතිරේක            01

මුළු ලකුණු

(පන්දුවාර 28කදී කඩුලු 1කට)       89

කඩුලු වැටීම -1-42

විචිත්‍ර වීරසිංහ _ ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් පිටියේ සිට…