දෙවිනුවර ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර අගෝස්තු 5දා

0
42

රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙන මාතර – දෙවිනුවර  ඓතිහාසික ශ්‍රී  උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය එළැඹෙන අගෝස්තු මස 05 වැනි සිකුරාදා සවස 6.16ට යෙදෙන සුබ මොහොතින් පළමුවැනි පේළි පෙරහරත් සමඟ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්ව ඇත.

මේ බව අනාවරණය කෙරුණේ දෙවිනුවර වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ කටයුතු සූදානම් කිරීම පිළිබඳව මාතර දිස්ත්‍රික් ලේකම් නීතිඥ වයි. වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණි ජයසේකර ශ්‍රවණාගාරයේදී පසුගිය දින පැවැති රැස්වීමේදීය.

ඇසළ පෙරහර මංගල්‍යයට අදාළව ඉපැරැණි චාරිත්‍රානුකූලව කප් සිටුවීමේ කටයුතු එළැඹෙන ජූලි 29 වැනිදා සිදු කිරීමට නියමිතය.

දින හයක් පුරා සන්ධ්‍යා භාගයේදී පේළි පෙරහර පැවැත්වෙන අතර ඒ අනුව පළමුවැනි පේළි පෙරහර පිටත්වීම අගෝස්තු 05 වැනි සිකුරාදා සවස 6.16ට යෙදෙන සුබ මොහොතින් ද, දෙවැනි පේළි පෙරහර පිටත්වීම අගෝස්තු 06 වැනි සෙනසුරාදා සවස 5.43ට යෙදෙන සුබ මොහොතින්ද, තුන්වැනි පේළි පෙරහර පිටත්වීම අගෝස්තු 07 වැනි ඉරිදා සවස 6.05ට යෙදෙන සුබ මොහොතින්ද, හතරවැනි පේළි පෙරහර පිටත්වීම අගෝස්තු 08 වැනි සඳුදා සවස 6.03ට යෙදෙන සුබ මොහොතින්ද, පස්වැනි පේළි පෙරහර පිටත්වීම අගෝස්තු 09 වැනි අඟහරුවාදා සවස 5.41ට යෙදෙන සුබ මොහොතින් ද,  හයවැනි පේළි පෙරහර පිටත්වීම අගෝස්තු 10 වැනි බදාදා සවස 7.04ට යෙදෙන සුබ මොහොතින් ද සිදු කිරීමට නියමිතය.

නිකිණි පුර පසළොස්වක පොහොය යෙදෙන අගෝස්තු 11 වැනි බ්‍රහස්පතින්දා දින සවස 1.04ට යෙදෙන සුබ මුහුර්තියෙන් දක්ෂිණ දිසාභිමුඛව දේවාලයෙන් පිටත්ව දකුණු වාහල්කඩින් පෙරහර මාර්ගයට පිවිස ඉතා උත්කර්ෂවත් අන්දමින් රන්දෝළි මහා පෙරහර වීදි සංචාරය කෙරේ.

අලි ඇතුන් සහිතව පැවැත්වෙන රන්දෝළි මහා පෙරහර සඳහා නර්තන කණ්ඩායම් සියයකට අධික ප්‍රමාණයක් සහභාගි කරවීමට සැලසුම් කර තිබේ.

චන්ද්‍රබාහු නම් ආක්‍රමණිකයාගෙන් රට බේරා ගැනීම සඳහා දෙවිනුවර උත්පලවර්ණ දෙවියන්ට වූ බාරයක් ඔප්පු කරනු වස් දෙවැනි පරාක්‍රමබාහු රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ 1257 දී ප්‍රථම වරට ආරම්භ කරන ලද දෙවිනුවර ඇසළ මහා පෙරහර මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ 765 වැනි වරටය.

අගෝස්තු මස 19 සිකුරාදා දින තුන්යම් රාත්‍රිය මුළුල්ලේ දේව තොවිලය නොහොත් කෝල්මුර යාගය පවත්වා ගිනි පාගා අගෝස්තු මස 20 වැනි සෙනසුරාදා දින දහවල් 11.00ට දේව දානය පැවැත්වීමෙන් අනතුරුව ඇසළ පෙරහර මංගල්‍ය කටයුතු නිමාවට පත් කිරීමට නියමිතව ඇත.

දෙයියන්දර – ටී. විජේසේකර