දුම්රිය පණගැන්වීම

0
128

ඉන්ධන අර්බුදය විසින් මේ මොහොත වන විට ජන ජීවිතයේ දෛනික පැවැත්මට බරපතළ තර්ජන රැසක් එල්ල කරමින් තිබේ. සතියට දින තුනක් දරු දැරියන් පාසල් යැවීමත්, දෛනිකව රැකියාවට හෝ වෙනත් කාර්යයන් සඳහා යෑමත් අතිශය දුෂ්කර ක්‍රියාවලියක් බවට පත්වී තිබේ. බස් ගාස්තුව අධික ලෙස ඉහළ නංවා තිබීමත්, දෛනිකව මහමඟ ගමන් කරන බස් රථ සංඛ්‍යාව අඩුවීමත් හේතුවෙන් මගීන්ට අසීමිත කාලයක් මහමඟ රස්තියාදු වන්නට සිදුවී තිබේ. පෞද්ගලික වාහනවලින් ගමන් බිමන් ගිය බොහෝ දෙනාට දවසේ සැලකිය යුතු කාලයක් පෝලිම්වල රස්තියාදු වන්නට සිදුවී තිබේ. දුම්රිය සේවාව මේ ගැටලුවලට යම් විසඳුමක් වී තිබුණද දැන් එම සේවාවද අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබෙන බව නොරහසකි.

දුම්රිය ගාස්තුව දැන් වැඩිකර තිබේ. නව ගාස්තු සංශෝධනය සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබුණද මේ දින කිහිපයෙහි එම ගැටලු නිරාකරණය වෙමින් පවතින බව කියයි. ගාස්තුව ඉහළ නංවා ඇතත් මහජනතාවගේ පැත්තෙන් බරපතළ විරෝධයක් පැනනැඟුණේ නැත. හේතුව තවමත් බස් ගාස්තුවට වඩා යම් සහනයක් දුම්රිය ගාස්තු සම්බන්ධව පෙනෙන්නට තිබීමයි. අනෙක් කාරණය යම් යම් ගැටලු ඉඳහිට පැනනැඟුණද තවමත් දුම්රිය ගමන කිසියම් කාලසටහනකට අනුව ක්‍රියාත්මක වීමයි.

යතුරුපැදියෙන් හෝ පෞද්ගලික මෝටර් රථයෙන් සිය සේවා ස්ථානය වෙත ගිය බොහෝ පිරිස් මෙන්ම පෞද්ගලික ආයතනවල විධායක ශේ‍ර්ණියේ නිලධාරීන් පවා මේ වන විට දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවා වෙත යොමු වීමේ ප්‍රවණතාවක් පවතී. මේ තත්ත්වය මත වෙනදා මෙන් නොව මේ දිනවල දුම්රියෙහිද දැඩි තදබදයකි.

දුම්රිය සේවය පවත්වාගෙන යෑමෙන් දිනකට රුපියල් කෝටි දහයකට වඩා වැඩි අලාභයක් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කොට තිබේ. පෙරේදා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා ඇත. මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ 2021 වර්ෂයේ දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 2.6ක ආදායමක් උපයන විට වැටුප් සඳහා පමණක් බිලියන 7.8ක්ද අතිකාල දීමනා සඳහා බිලියන 2.3ක්ද ගෙවා ඇති බවය. අමාත්‍යවරයා එසේ කියන්නේ ඉකුත් වර්ෂය සම්බන්ධවය.

ආදායමට සාපේක්ෂව සේවක වැටුප් සඳහා එතරම් විශාල මුදලක් වැය කරන්නේ කෙසේද? අමාත්‍යවරයා නඟන ප්‍රශ්නය අසාධාරණ නැත. මේ රටේ රාජ්‍ය ආයතන බොහොමයක් සම්බන්ධව දැනගන්නට තිබෙන තත්ත්වය වන්නේ එම ආයතන දිනෙන් දින පිරිහී යන්නට පටන්ගෙන ඇති බවය. එම ආයතන එවැනි තත්ත්වයකට පත්වී තිබෙන්නේ ඇයි? අප රට වර්තමානයේ මුහුණ දෙමින් සිටින්නේ බිහිසුණු ආර්ථික කඩා වැටීමකටය.

රට වැටී තිබෙන තැනින් ගොඩ ගන්නට විදේශ ආධාර නැතිවම බැරි තත්ත්වයකි. ලබාගෙන තිබෙන ණය කන්දරාවවත් ගෙවා ගන්නට බැරි වී අමාරුවේ වැටී සිටින මොහොතක තවදුරටත් ණය ලබා ගැනීම බරපතළ ගැටලුවක් වී තිබේ. කඩා වැටෙන ආයතන ගොඩ ගන්නට කවුරුවත් උපකාර කරන්නේ නැත. ඕනෑම ආයතනයක් ණය සහනාධාර ලබාගෙන හෝ යම් ප්‍රගතියක් පෙන්වයි නම් තවදුරටත් සහයෝගය ලබා දෙන්නට කවුරුන් හෝ ඉදිරිපත් වනු ඇත. කළ යුත්තේ ප්‍රතිලාභ නොමැතිව ආයතන කඩාවැටෙන්නට බලපා ඇති හේතු සාධක පිළිබඳව සොයා විමසා බැලීමය. දුම්රිය සේවය සම්බන්ධවද තවමත් එවැනි විමර්ශනයක් සිදු වී ඇති බවක් නොපෙනේ.

දුම්රියෙන් ගමන් කරන සෙනඟ කිටි කිටියේ තෙරපි තෙරපී යන එන හැටි දකින විට මේ සේවාව මේ හැටි පාඩු ලබන්නේ ඇයි දැයි ගැටලුවකි. පසුගිය දිනවල දුම්රිය වහලේ පවා සෙනඟ නැඟ ගමන් කරනු පෙනිණි. ගාස්තුවද දැන් වැඩි කරගෙනය. ප්‍රවේශ පත්‍රද නිසි පරිදි නිකුත් කෙරෙයි.

වර්තමානයේ බොහෝ ආයතනවල ‘අතිකාල සේවය’ සඳහා ඉඩ ප්‍රස්තා සලසා තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුවටද මේ වරප්‍රසාදය හිමිය. ඇතැම් සේවකයන් මේ අවස්ථාවෙන් අයුතු වාසි සලසා ගනිමින් මාසික වැටුපට වැඩි මුදලක් අතිකාල දීමනා ලෙස ලබාගන්නා බව පෙනේ. සැබැවින්ම මෙහිදී සිදුවී තිබෙන්නේ කුමක්ද? නියමිත රාජකාරි වේලාව තුළ නිරර්ථකව කාලය ගෙවමින් සිටින බොහෝ දෙනා අතිකාල සේවයෙහි නියුතුව තම පටු අරමුණු සපුරා ගැනීමයි. මෙබඳු වංචනික සේවා අවස්ථා ගැන නිසි විමර්ශන වහා දියත් කළ යුතුය.

දුම්රියෙහි කළයුතු තවත් නවීකරණයකි. ඒ විද්‍යුත්කරණයයි. විදෙස්හි නගරබදව විදුලිය දුම්රිය ධාවනය සක්‍රිය කොට පරිසර දූෂණයද අවම කරගන්නා තත්ත්වයක් මෙකල දක්නට ලැබේ. මේ සම්බන්ධව අප රටෙහිද අවස්ථා කිහිපයකම අවධානය යොමු කළත් ඒ සම්බන්ධව කිසිදු ඉදිරි පියවරක් ගෙන නොමැත. මේ ගැන බලධරයන් කතාබහ කළේ රටට නිදහස ලැබෙන්නට පෙර සිටය.

දුම්රිය හා බස් සේවා අතර ඒකාබද්ධතාවක් ඇති කිරීම සම්බන්ධවද නියමු ව්‍යාපෘති කිහිපයක් සිදු වී ඇතත් එම කටයුතු ඇනහිට තිබේ. දැනට දෙහිවල – මොරටුව හා රාගම නගරවල මෙබඳු ඒකාබද්ධ ප්‍රවාහන සේවා යම් තරමකට ක්‍රියාත්මකය. එම තත්ත්වය තවදුරටත් සංවර්ධනය විය යුතුය.

දුම්රිය ප්‍රවේශ පත්‍රය මුද්‍රණයටද විශාල මුදලක් වැය වෙයි. අය කරන ගාස්තුවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් එය මුද්‍රණයට යටවනු ඇත. මේ සම්බන්ධව නව වැඩපිළිවෙළක් සැලසුම් කොට වැයවන මුදල ඉතිරි කර ගැනීමට බැරිකමක් නැත. යල් පැන ගිය මැදිරි පරීක්ෂක සේවා, ප්‍රවේශපත්‍ර පරීක්ෂක සේවා නවීකරණය විය යුතුය. දුම්රිය මගීන් ආකර්ෂණය කරගත හැකි දුම්රිය පරිශ්‍ර ගැන අවධානය යොමු කිරීමද වැදගත්ය.

අතීතයේ සිදුව තිබෙන අඩුපාඩු ගැන කතා කර කර කල් මරනවාට වඩා දුම්රිය සේවය වැටී තිබෙන තැනින් ගොඩ ගැනීම කෙරෙහි බලධරයන්ගේ අවධානය යොමු විය යුතුය. දුම්රිය ගාස්තුව වැඩිවීම මගී ජනතාව නුරුස්සන පියවරක් නොවන්නට නම් එය කාර්යක්ෂම වූත්, ප්‍රසාදජනක වූත් සේවාවක් බවට පත්විය යුතුමය.