ඉවරයක් නැති ගෝ හෝම් සටන් මලකෝලමක් වෙලා

0
69

“ගෝඨා ගෝ හෝම් – රනිල් ගෝ හෝම් ඊට පස්සේ දිනේෂ් ගෝ හෝම් මේ වැඩේ ඉවරයක් නෑ. වෙන වැඩක් කරන්න වෙලාවක් නෑ. කාවද ඕනෑ කියලා කිව්වොත් අපට පත් කරන්න පුළුවන්. මේ රටට නිදහසේ හුස්ම ගන්න ඉඩ දිය යුතුයි. මේ පාලනය ගැන අපට විවේචන තියෙනවා. හැමදාම මේ රටේ මිනිස්සු ජාත්‍යන්තර නාළිකාවලට ප්‍රවෘත්ති සපයමින් ලිබියාවක්, අප්‍රිකානු රටක් වගේ කරන එකද අරගලය. එවැනි අරගලයකට සුජාතභාවයක් දෙන්නේ කොහොමද?” හදිසි නීති විවාදයට එක් වෙමින්  ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ ඊයේ (27දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. වැඩිදුරටත් මන්ත්‍රිවරයා මෙසේද කීය.

“අපේ රට ඉතාම තීරණාත්මක හා අඳුරු අවස්ථාවකට මුහුණදීලා තියෙන වෙලාවකයි අපි මේ පාර්ලිමේන්තුව තුළ හදිසි නීතිය පිළිබඳ විවාදය පවත්වන්නේ.

පාර්ලිමේන්තුව තුළ තිබුණ ජනාධිපතිවරණයේදී අපි ප්‍රකාශිතවම ඡන්දය පාවිච්චි කළේ ඩලස් අලහප්පෙරුම මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විපක්‍ෂයේ අපිත් සියලු පාර්ශ්ව සමඟ එකට එකතු වෙලා. නමුත් ඒ ඡන්දයෙන් ජයග්‍රහණය කළේ රනිල් වික්‍රමසිංහ මහතායි.

ඩලස් අලහප්පෙරුම මහතා දිනුවා නම් සර්ව පාක්‍ෂික පාලනයක් හරහා සුජාතභාවයක් සහිත පාලනයකින් මේ අන්තර් කාලයේත් මේ අර්බුදකාරී කාලයේත් පසු කිරීම තමයි අපේ බලාපොරොත්තුව වුණේ. අපි හිතුවා ඒක තමයි සුදුසුම උත්තරය කියලා. මේ උත්තරය අපි මුලින්ම යෝජනා කළේ හිටපු ජනාධිපතිවරයාට පසුගිය අප්‍රේල් 08 වැනිදා ලඛිතව. නමුත් එතුමා ඒක සුදුසු පරිදි පිළිගත්තේ නැහැ.

මේ වගේ අර්බුදකාරි තත්ත්වයක් කළමනාකරණය කරන්න පුළුවන් සුජාතභාවය තියෙන පාලන තන්ත්‍රයකට. මට හිතෙන්නේ නැහැ මේ ඇති කරගෙන තියෙන පාලන තන්ත්‍රයට නියමිත ප්‍රමාණයට ඒ සුජාතභාවය සමාජය තුළ තියෙනවා කියලා.  හැබැයි නියමිත පරිදි සුජාතභාවය තිබුණත් නැතත් මේ පාලනය නීත්‍යනුකූල පාලනයක්. ව්‍යවස්ථානුකූල පාලනයක්. අපි කැමැති වුණත් නැතත් ඒ පාලන තන්ත්‍රය තමයි අද මේ රට පාලනය කරන්නේ.

දැන් මේ රටේ ජනතාව මුහුණ දෙන දරුණු ආර්ථික පීඩනය මත ඒ ඇති වුණ අසරණභාවය මත අපේ රටේ තියෙන මේ ඛේදජනක තත්ත්වය මත ඒකෙන් ඇතිවුණ ආවේගය මත මහ ජනසන්නිපාතයක් කොළඹට ඇවිල්ලා ඒ මහා සටනක් කරලා ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සාමකාමීව ධුරය අත්හැරලා ඉවත් වුණා.

දැන් Gota Go Home කියලා තමයි මේ සටන පටන් ගත්තේ. මේ Gota Go Home කියන සටනට සමාජයේ යම්කිසි අනුමැතියක් තිබුණා. අර කියන පීඩාකාරී තත්ත්වය හේතුකොට ගෙන සහ ඒවාට කඩිනම් විසඳුමක් ලැබෙන බවක් නොපෙනෙන කොට. ඒ හේතුව මත මහජන සන්නිපාතයක් විසින් ඒ අරගල ගෙනිච්චා. හැබැයි අපි හිතුවා Gota Go Home වුණාම ඒක ඉවර වෙනවා කියලා. දැන් බැලුවම එහෙම නැහැ. දැන් ඊළඟ 09 එනවලු තව කෙනෙක්ව ගෙදර යවන්න. එයා ගෙදර යැව්වම ඊට පස්සේ දිනේෂ්ට සිද්ධ වෙයිලු ජනාධිපති වෙන්න. යකෝ මේක මලකෝලමක්නේ.

Gota Go Home, Ranil Go Home ඊට Dinesh Go Home ඊට වඩා ලේසි කාවද ඕනේ කියන්න. අපි එයාව ජනාධිපති කරන්නම්. මේ කරදරයෙන් මිදෙන්න. මේක වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. රටට සාමයෙන් හුස්ම ගන්න ඕනේ නැද්ද? දැන් Go Home කිව්වම ගියා. දැන්වත් මේ රටට ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න සටන් කරන්න දෙන්නේ නැද්ද? මේ පාලන තන්ත්‍රය පිළිබඳ අපට විවේචන තියෙනවා. අපිට එකඟ වෙන්න බැරි තැන් තියෙනවා. හරි ඒවා අපි වෙනම බේරා ගන්නම්. මේක මේ හැමදාම මේ රටේ මිනිස්සු ජාත්‍යන්තර නාළිකාවලට ප්‍රවෘත්ති සපයමින් මේක නිකන් අර ලිබියාවක්, අප්‍රිකාවේ තියෙන රටක් වගේ ප්‍රතිරූපය හදන එකද අරගලය. ඒ අරගලයටද අපි සුජාතභාවය දෙන්න යන්නේ.

ලක්‍ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ සාධාරණ ආවේගයට මම කවදාවත් ගරහන්නේ නැහැ. එතැන හිටිය ඒ අව්‍යාජ තරුණ දූ දරුවන්ගේ අව්‍යාජ අරගලයට මම කවදාවත් ගරහන්නේ නැහැ. තේරුම් ගන්න මෙතැන තියෙන්නේ රාජ්‍ය බිඳ වැට්ටවීමක්. ඒකට ඉඩ දෙන්න බැහැ. මම විපක්‍ෂයේ හිටියත් ආණ්ඩුවේ හිටියත් කොහේ හිටියත් ඒකට ඉඩ දෙන්න කියලා මම කියන්නේ නැහැ. ඒක කරනවා නම් ඒක මහ පාපයක්.

මට රනිල් වික්‍රමසිංහගෙන් ඇමැතිකම් ඕනේ නැහැ. මට මගේ රාජ්‍යය ඕනේ. මේ ආර්ථික අර්බුදයෙන් බැටකාලා අපි ගොඩ එන දවසට අපිට රාජ්‍යය තියෙන්න ඕනේ. මේ එන්නේ වෙනකට නෙවෙයි. හරි, ජනාධිපති මන්දිරය ඇල්ලුවා. අරලියගහ මන්දිරය ඇල්ලුවා. ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළට ගිහිල්ලා ඇල්ලුවා. දැන් මේවා සාමකාමීද? රාජ්‍ය දේපළ අත්පත් කරගත්ත එක. දැන් මේවාට සාමකාමී කියලා අපි කිව්වොත් පාර්ලිමේන්තුව අල්ලන්න ආව එදා ඒ ආරක්‍ෂක අංශ සුදුසු පරිදි බලය පාවිච්චි නොකළා නම් අර හමුදා භටයකුගේ ඔළුවට යකඩ පොලුවලින් ගහද්දී වෙඩි තිබ්බේ නැහැ. ඒ හමුදාවේ ඉවසිල්ල මේ තමයි ලෝකේ ඉන්න හොඳම හමුදාවක්. එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවේ ලොක්කොන්ගෙන් අහන්න ලංකාවේ හමුදාව මොන තරම් දියුණු හමුදාවක්ද කියලා. හැබැයි ඒ දියුණුකම කියන්නේ නිවටකම කියලා හිතන්න එපා.

අද මොකක්ද මේ කරන්නේ. මුලින්ම මේකේ 73කගේ ගෙවල් ගිනි තියලා දේශපාලනඥයෝ මානසික වශයෙන් බැරියර් දැම්මා. බය කළා. ඊළඟට මහා සංඝරත්නයට. එතනින් එනවා එක එක තර්ජන කතා. මහා සංඝරත්නයට මානසික බාධා පැනෙව්වා. ඊළඟට කලාකරුවන්ට මානසික බාධා පැනෙව්වා. ඊළඟට පොලිසියට මානසික බාධා පැනෙව්වා. කවුරු හරි අත්අඩංගුවට අරගෙන උසාවියට යනවා සාධාරණ ඇත්ත චෝදනා කරලා. නීතිඥයෝ 200ක් විතර ඇවිල්ලා සද්දේ දාලා ඒ කියන්නේ විනිශ්චකාරයාට හිතෙනවා යකෝ මේකට ඇප නොදුන්නොත් මූ මගේ ගේත් ගිනි තියයි කියලා. ඒ කියන්නේ මානසික බාධා මානසික බාධා පමුණුව පමුණුව ඇවිල්ලා එදා රෑ පාර්ලිමේන්තුවත් අල්ල ගත්තා නම් අද රාජ්‍යයක් පවතීද? ඊට පස්සේ අල්ල ගන්න තියෙන්නේ ශේ‍ර්ෂ්ඨාධිකරණ ගොඩනැඟිල්ලයි, ITN එකයි. රූපවාහිනියයි. අපි අතට රට ආවා දැන් උඹලා අපි කියන විධියට ඉඳපල්ලා.

දැන් මේකද අපිට ඕනේ. ආර්ථික අර්බුදය, පීඩනය අපිට තියෙනවා ඇත්තයි. ඒකෙන් අපි බැටකනවා. ඒකෙන් අපි ගොඩ එන්න ඕන. ගොඩඑන්න අපි විපක්‍ෂයේ හිටියත් කොහේ හිටියත් අපිට වගකීමක් තියෙනවා.

අපි රුසියාවේ රාජ්‍ය තෙල් සමාගම සභාපතියි, CEO ගෙන්නුවා. ලංකාවට ගෙන්වලා ඒ වෙලාවේ හිටපු කංචන ඇමැතිතුමා, මහ බැංකු අධිපතිතුමා එක්ක සාකච්ඡා කළා. ඒ අය 09 වැනිදා තමයි රටින් පිටවුණේ. ගිහිල්ලා ඒ සභාපති අපිට කතා කරලා කියනවා ස්වීමින් ෆූල් එකේ නාන දර්ශනය දැකලා උඹලගේ රටේ මිනිස්සුන්ගේ ඇටිටියුඩ් එක ඒකෙන් අපිට තේරුණා කියලා. මම මුකුත් උත්තරයක් දුන්නේ නැහැ. මොනවා උත්තර දෙන්නද?

කොහොම නමුත් ඒක තමයි ජාත්‍යන්තරයට යන ප්‍රතිරූපය. ඒ සමාගම අවබෝධතා ගිවිසුමක් හදලා එවලා තියෙනවා. ඒකට එකඟද නැද්ද කියලා කියන්න. එකඟ  නම් ඊළඟට ඒ අය එවනවා ඔපරේෂන් ඇගි්‍රමන්ට් එකයි ගැරෙන්ටි එකයි.

ඩොලර් මිලියන 300ක ණයක් හැම මාසෙකම. මේ ජනවාරි ගත්ත තෙල්වල මුදල් ගෙවන් ඕනේ. ලබන අවුරුද්දේ ජනවාරි හම්බ වෙන්නේ ලෝක වෙළෙඳපොළේ තියෙන මිලට වඩා සියයට 15ත් 35ත් අතර අඩු මිලකට. හැබැයි පෙට්‍රෝලියම් එකේ නීති අංශයේ නිලධාරිනියක් අද ලිඛිතව දෙනවා මේ සමාගමේ නීත්‍යනුකූල භාවය පිළිබඳ සොයා බැලීමෙන් තොරව මෙවැනි ගිවිසුමකට එකඟතාව දීම භයානකයි කියලා. දැන් මේ අපිට ණයක් දෙන්නේ ඒකේ ආණ්ඩුවේ. මේ පැටිකිරිය හොයන්න ඕනද? මේ වෙලාවේ මෙහෙම උදව්වක් කරන මිනිසුන්ට. ණය දෙන්නේ අපිට මොකටද එහේ පැටිකිරිය. එතකොට දැන් ඒ අවබෝධතා ගිවිසුමට එකඟයි කියලා යැව්වොත් ඊළඟට එනවා ඇගි්‍රමන්ට් එකයි ගැරන්ටි එකයි. ගැරන්ටි එක එන්නේ එහේ බැංකුවෙන්. ඒ දෙක ආපු ගමන් අපි ගියා ඇගි්‍රමන්ට් එක අස්සන් කළා. දෙන්නේ අපිට බොරතෙල්. අපේ සපුගස්කන්දත් නැවත වැඩ පටන් ගන්න පුළුවන්. ඒ අය අවුරුදු දෙකකට ගිවිසුම ගහන්නේ. දෙකේදී සාර්ථක නම් තුන, හතර, පහ දක්වා යනවා ඒ විධියටම.

පටු දේශපාලනයෙන් හිතනවා නම් මේක කෙරුණාට පස්සේ ආණ්ඩුව ස්ථාවර වෙයි. එතකොට අපිට මොනවා හරි මැච් එකක් ගහගන්න බැරිවෙයි. එහෙමනේ මේ වැඩි දෙනෙක් හිතන්නේ. අපි එහෙම හිතන්නේ නැහැ. එහෙම හිතන්නේ නැහැ කියන්නේ අපි මේ රාජ්‍ය බිඳවට්ටන්න ඉඩ දෙන්නේ නැත්තේ ඒකයි. ඔය වැඩේට අපි මහන්සි ගන්නේ රාජ්‍ය බිඳවට්ටන මෙහෙයුමට මේ තෙල් පෝලිමේ ඉන්න මිනිසාගේ පීඩනය යොදා ගන්නවා. ඉක්මනට ඒ මිනිස්සු ගෙදරට යවන්න ඕන. යවන්න මෙන්න මේ වැඩේ කරන්න කියන්න.

වර්තමාන ජනාධිපතිවරයාත් හම්බ වෙලා මම මේ විස්තර ටික කිව්වා. හැබැයි මට පේන්නේ කොහෙන් කොහෙන් හරි මේගොල්ලෝ එක එක නිලධාරීන් ලව්වා එක එක ලිපිදීලා මේක බ්ලොක් කරන්න හදන්නේ.

අපේ ආර්ථික අර්බුදය අද ඉතා දැනුවත්ව බාහිර පාර්ශ්වයන් විසින් යොදා ගනිමින් ඉන්නවා රාජ්‍ය බිඳවට්ටන්න. මෙන්න මේක තේරුම් ගන්න. රාජ්‍ය බිඳවැට්ටවීම සඳහා මහජනයාගේ තියෙන සාධාරණ ආවේගය, පීඩනය, දුක්ගැනවිල්ල ඉතාමත්ම අවභාවිතව යොදවනවා.

ජාතික රාජ්‍ය කියන එක අපිට හොඳට නරකට කියන දෙකටම බලපාලා ඇති. නිදහස් සෞඛ්‍ය සේවය දුන්නා. අපිට ජාතික රාජ්‍ය හොඳට නිදහස් අධ්‍යාපනය දුන්නා. අපිට ජාතික රාජ්‍ය හොඳට තව තව අවස්ථාවල නරකටත් බලපාලා ඇති. කොහොම නමුත් හොඳට හෝ නරකට මේ ජාතික රාජ්‍ය පවතින්න ඕන. ජාතික රාජ්‍ය බිඳවට්ටන්න දීම තරම් අපරාධයක්, පාපයක් සියොරා ලියොන් අන්න ඒක කළා. හයිටිය අන්න ඒක කළා. මම දැක්කා මේ අරගලයේ ඉන්නවයි කියන කට්ටියක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයකට ගිහිල්ලා ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලනවා. ඒ වගේම දෙමළ ජාතික සන්ධානයේ ශ්‍රී දරන් මන්ත්‍රිතුමා කොහෙද පිටරටකට ගිහිල්ලා උතුරු, නැඟෙනහිරට විදේශීය හමුදාවක් ඉල්ලනවා. දැන් මෙහෙම වුණොත් මේකට ඉඩ දුන්නොත් තව ටික දවසකින් මේක එනවා උතුරේ හමුදා කඳවුරු ගාවට. ගලවගෙන පලයව් කියනවා යන්න වෙනවා. ඊළඟට එනවා ආගමික ස්ථාන ගාවට. කූරගලට යන්න කියනවා යන්න වෙනවා. මෙහෙම රටක් අපාලිත, අරාජික වෙන් ඉඩ දීලා බලා සිටීම නොවෙයි කළ යුතු වන්නේ.

අර පොළොන්නරුවේ මන්ත්‍රිතුමාව මරා දැම්මා. ඒ මනුස්සයා කළ වරදක් නැහැ. මේ ඉන්න වෙල්ගම මන්ත්‍රිතුමාට පහර දුන්නා. ඒ මනුස්සයා කළ වරදක් නැහැ. අපි මිනිස්සුන්ගේ පීඩනය දන්න හින්දා ඒ හැමදෙයක්ම අපිට දරා ගන්න පුළුවන්. හැබැයි රාජ්‍ය බිඳවට්ටන්න දෙන්න බැහැ.

වෙල්ලමුල්ලිවයික්කාල්වලට ගිහිල්ලා කෑම්ප් එක ගලවන්න කියයි අරගලය. කූරගලට ගිහිල්ලා පන්සල ඉවර කරන්න කියයි අරගලය. එහෙම අරගලයට තමයි අර සමහරු සුජාතභාවය දෙන්නේ.

තායිලන්තයේ එක වෙලාවක තිබුණා කහ කමිසකාරයෝ කියලා සටනක්. ඒකත් අර ගෙදර යන්නේ නැතිව තිබුණු සටනක්. හොයලා බලන්න, එහෙත් ඉන්නවා නීතිඥ සංවිධානයක්. ඒකට තමයි ඇමෙරිකාව ෆන්ඩ් කළේ. මම ඉදිරිපත් කරනවා ලේඛනයක්. මේ ලේඛනයේ ඇමෙරිකාවේ CIA සංවිධානයට අනුබද්ධ NED කියන සංවිධානයක් තියෙනවා. 1983 මේක පටන් ගත්තේ. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික උරුමය. මේ සංවිධානය රටවල් 100ක  විතර වැඩ කරනවා. මේ සංවිධානය මුදල් දීලා තියෙනවා නීතිය හා සමාජීය පදනමට 2020 වසරේ පමණක් ඩොලර් 1,72,670ක්. මම මේ ලේඛනය  සභාගත කරනවා.

ඊළඟට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට 2020 වසරේ පමණක් ඩොලර් 2,85,000ක් දීලා තියෙනවා. මීට අමතරව ශ්‍රී  ලංකාවේ නීතියේ ආධිපත්‍ය ප්‍රවර්ධනය කිරීම සඳහා සිවිල් සමාජ මුල පිරීම සඳහා 2013-2017 කාලය තුළ ඩොලර් මිලියන 3.9ක් වැය කරලා තියෙනවා. මෙම අරමුදල් වැය කරලා තියෙන්නේ ශ්‍රී  ලංකා රාජ්‍යයේ නීතිඥ සංගමය හරහා කියලා තමයි මේ වාර්තාවේ දැක්වෙන්නේ. බලන්නකෝ වැඩේ. දැන් අපිට මානසික බාධා පමුණුවනවා මේවා කිව්වොත් ගහයිද දන්නේ නැහැ. මේවා කිව්වොත් ගේ ගිනි තියයිද දන්නේ නැහැ. මේ මානසික බාධා. ඒවාට යටත් වෙන්න බැහැ.

හමුදාව ළඟට ගිහිල්ලා අර වීඩියෝ එකක තියෙනවා කොලු ගැටයෙක්, යුද අපරාධ කළා තොපි ප්‍රභාකරන් හොඳයි යකෝ උඹලට වඩා මේ හමුදාවට එහෙම කියන්න පුළුවන් කාටද? මේ හමුදාව හැම විපතකදීම මිනිස්සු ගාව ඉන්නවා. ඒ හමුදාවටත් දැන් බැරියර් දාන්න එනවා නම්.

මම දැක්කා කැහුතු ආච්චිද කවුද කියලා ගෑනු කෙනෙක් ඉන්නවා. සෝශල් මීඩියාවල. එයාට එහෙමයි කියන්නේ. ඒ අම්මා කියනවා හමුදාව ළඟ වාඩිවෙලා මුන්ගේ ගෙවල් හොයාගෙන ගිනි තියන්න ඕන. දැන් මේ මොකක්ද කරන්න හදන්නේ. හමුදාවේ ගෙදර ඉන්න නෝනා කෝල් එකක් දාලා මහත්තයාට කියනවා අනේ ඔයා නම් ඕවාට පැටලෙන්න එපා කියලා. අන්න මානසික බාධා. මේක සැලසුම් සහගතව රාජ්‍ය බිඳවට්ටන්න කරන්නේ.

අර සරත් ෆොන්සේකා මහත්තයා මෙතැන නියෝග කළා හමුදාවට, ඕගොල්ලෝ වෙඩි තියන්න එපා, පහර දෙන්න එපා, මුකුත් කරන්න එපා, ඔහේ සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ බලන් ඉන්නලු. ඒ කියන්නේ පාර්ලිමේන්තුව ඇල්ලුවත් බලන් හිටපන්. මේක මේ අරාජිකත්වය, මම කියන්නේ අරගලකරුවන් නොවෙයි අරාජිකකරුවන්. මේ රටේ අරාජිකත්වයේ අරාජිකත්වයට ඇද වට්ටන්නේ. ඒකට ශක්තිමත්ව මුහුණදීම අත්‍යවශ්‍යයි.

හැබැයි ඒක සඳහා ගත්ත හදිසි නීතිය සාමාන්‍ය සිවිල් ජන සමාජයේ යුක්ති සහගත අයිතිවාසිකම් පොඩිපට්ටම් කරන්න පාවිච්චි කළොත් ලබන මාසේ විවාදයේදී අපි මේකට විරුද්ධ වෙනවා.

අපේ ඡන්ද ටික තීරණාත්මක නැහැ හදිසි නීතිය සම්මත කර ගන්න. ඒක ඇත්ත. හැබැයි අපිට බැහැ එහෙම වුණොත් මේ හදිසි නීතියට පක්‍ෂ වෙන්න. මේ අරාජිකවාදී ඒ මහ රාජ්‍ය බිඳවැට්ටවීමේ අපරාධය ඒක නතර කරන්න ඕන. ඒකත් එක්ක හුරතල් වෙන්න සමහර දේශපාලනඥයන් හිටියට අපි නම් ඒ අපරාධයට අකුරකින්වත් වචනයකින්වත් සම්මාදම් වෙන්නේ නැහැ. මම සභාගත කරනවා අර NED සංවිධානය විසින් ලංකාවේ විවිධ සංවිධානවලට දීලා තියෙන මුදල් ගැන ලේඛනය. මම ඉල්ලා සිටිනවා ඒක හැන්සාඩ්ගත කරන්න කියලා. මම ටිකයි කිව්වේ, තව සංවිධාන ගොඩකට ඩොලර් එවලා තියෙනවා. මේවා තමයි සමහර යූටියුබ්ස්ලාට ගියේ.

මට අර රුසියාවෙන් ආපු දෙන්නා කියනවා, ඔය ගෝල්ෆේස් ගාවින් ගියා අපි වාහනයක. ඒ අය කියනවා යුක්රේනයෙත් ඔහොමයි වුණේ. රුසියාවට හිතවත් ජනාධිපතිව එළවන්න ඔහොම පාක් එකට ආවා සෙනඟ. ඒ අය කිව්වා එහේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන්. ඒ ආපු එක පුද්ගලයකුට දවසකට ඩොලර් තුන ගාණේ වියදම් කළා කියලා. රුසියන් ජාතිකයා කිව්වේ. එයා ගෝල්ෆේස් එක බලලා කියනවා උඹලාගේ රට පාලනය කරන්නේ උඹලාගේ ජනාධිපති නෙවෙයි, ජනාධිපතිට උඩින් ඇමරිකානු තානාපති ඉන්නවා කියලා තමයි මට නම් පේන්නේ. ඇත්ත කතාව. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා මං හිතන්නේ සතියකට තුන්පාරක් විතර ජූලියා නෝනා හම්බ වෙනවා. ඒ නෝනා ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයට හොඳට මානසික බැරියර් හදනවා. ගන්න ඕන තීරණ ගැනෙන්නේ නැහැ. එතකොට අර්බුදය උත්සන්න වෙනවා. දැන් අවසානයේ එතුමාට කොහේ රටකින්වත් පිහිටක් ලැබුණේ නැහැ.

මේ අපි තීරණාත්මක මොහොතක. අපි අතර මොන වාදභේද තිබුණත් මේ රාජ්‍ය බිඳ වැට්ටවීමේ මෙහෙයුමෙන් මේ රාජ්‍ය බේරගන්න ඕන. ඒක අවම යුතුකමක් අපේ. හැබැයි ඒක කියලා තමුන්නාන්සේලා හදිසි නීතිය දාගත්තට පස්සේ මේ කන්දත් අපේ තමයි අර කන්දත් අපේ තමයි කියලා මෝඩ චූන්නම් දාන්න එන්න එපා. එතකොට තමයි මේ රටේ මිනිසුන්ට යකා වැහෙන්නේ. මුන් තාමත් පාඩමක් ඉගෙන ගෙන නැහැ කියලා.

හැබැයි රටේ අතිමහත් බහුතරයට එන එන මිනිහා ට්ර්ණී ඩ්ධථඥ කිය කිය කියන්න වුවමනාවක් නැහැ. අර සල්ලි හම්බවෙන කට්ටිය විතරක් ඒක ෆෝම් කරන්නේ. ඒ නිසා අපි හිතනවා තමුන්නාන්සේලාගේ පාලනයට නොලැබී තිබෙන සුජාතභාවය ඉක්මනින් ඇති කරගත යුතුයි. ඒ සඳහා සර්වපාක්‍ෂික ජාතික එකඟතා පාලනයක් පිහිටුවීම සඳහා කටයුතු කළ යුතුයි.

අපි ඉදිරියේදී අපේ පක්‍ෂය හැටියට ඒකට අපේ යෝජනා මාලාව, වැඩපිළිවෙළ විවෘතව ඉදිරිපත් කරනවා. අපි කවුරුත් මේ වෙලාවේ වගකීමෙන් කටයුතු කළ යුතුයි.

අපිට තියෙන දේශපාලන කෝන්තර පිරිමහගන්න ගිහිල්ලා අවසානයේ මේ රට සියරා ලියෝන් එකක් එහෙම නැත්නම් අප්‍රිකාවේ හයිටියක් එහෙම නැත්නම් ලිබියාවක් බවට පත්වෙන්න ඉඩ නොදිය යුතුයි. ඒක අපේ අවම වගකීම. මේ රාජ්‍ය තුළ ජීවත් වෙන්න ඕන නම් අපේ දරුවෝ මේ රාජ්‍ය තුළ හැදී වැඩෙන්න ඕන නම් මේ අරාජිකවාදීන්ට ඉඩ නොතැබිය යුතුයි. ඒ සඳහා සාධාරණ ලෙස දැන් අර රූපවාහිනියට පැන්න කෙනාව ප්ලේන් එකෙන් ගෙනාපු විධිය කැතැයිලු. උෟ පැන්න විධිය හොඳයිද? මට එවෙල අහන්න හිතුණා හොඳනෑනේ බාධා කරන්න.

දැන් මිනිහා රුපවාහිනියට පැන්නා පොහෝදා වැඩසටහනක් නවත්වලා අපි තමයි අරගලය කියලා නැවැත්තුවා පොහෝදා වැඩසටහන්. එතකොට මේක හොඳද? ඒකා දරුවෙක්ද? ඒ දරුවා නම් උන්දෑගෙ අප්පච්චි කවුද කියලා හොයන්න ඕන. මේ අප්පච්චිද කතා කළේ. දරුවෝ නොවෙයි ඒ මරුවෝ වගේ හැසිරුණේ. මම කියන්නේ නැහැ හදවතින් ආව පීඩනය නිසා අවංක කොල්ලෝ කෙල්ලෝ ගැන. මම කියන්නේ මේක සැලසුමේ පිටපත ලියලා පිටපතට අනුව වැඩේ කරන කට්ටිය. ඒ නිසා ඒ ඇත්ත දරුවෝ ටික වරද්ද ගන්න එපා. මේ මරුවෝ.

දැන් අර එක පක්‍ෂයක නායකයෙක් කියලා තියෙනවා ව්‍යවස්ථාවෙන් පිට බලය පිහිටුවන්න ඕන කියලා. හොඳට තියෙයි. මේකට තමයි යට තියෙන ඇජෙන්ඩා එක. රාජ්‍ය බිඳවට්ටනවා අනීතික බලයක් පිහිටුවනවා. මේක සීසීකඩ අරාජික වෙනවා. ඊට පස්සේ උතුර නැඟෙනහිර වෙන් කරනවා. මේක තමයි සැලැස්ම. මේ ප්ලෑන් එකට නම් ඉඩ දෙන්න එපා. මේ ප්ලෑන් එකට ඉඩ නොදිය යුතුයි. ඒ සඳහා එකමුතුව කැපවීමෙන් කටයුතු කළ යුතුයි. ආරක්‍ෂක හමුදාවට, පොලිසියට අපි කියනවා ඔබ රාජ්‍ය රැකගන්න ඔබ ඉන්නේ ඒකට. ඔබ අපිව රැකගන්න ඕනෑ නැහැ. රාජ්‍ය බිඳ වැට්ටවීමේ පාපතර මෙහෙයුම පරද්දන්න. ඒ වෙනුවෙන් අපි ඉන්නවා ඔබත් සමඟ.”

අනුරාධා හේරත්

සඳුනි ගමාරච්චි